සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1363

රුවරු

නා.ප්‍ර. රිදී-රත්රන් කර්මාන්තයෙහි යෙදෙන්නා.

රුවල

නා. සුළං බලයෙන් දුවන විවිධ යාත්‍රාවලට බැඳීම සඳහා අටවන ලද රෙද්ද.

රුවාව

නා. ඇසේ ඉංගිරියාව ; කළු ඉංගිරියාව හෝ සුදු ඉංගිරියාව.

රුවිත

නා.ප්‍ර. කඩදාසි කුට්ටමේ අලුවා කෑලි හැඩයේ රූපය සහිත කොළය.

රුවිත කැපුම් කටුව

(පාරිභා.) නා. කපන කටුවක්; කැපුම් කෙළවර රුවිත සලකුණේ හැඩයට උල් කොට ඇති කටුව.

රුෂ්ට

වි. කෝප වූ ; කුපිත වූ.

රුස්

වි. කැමැති ; මනාප ; රුචි.

රුස්නා

වි. කැමති වන ; රුචි කරන.
නා.ප්‍ර. ඇලුම් කරන තැනැත්තා.

රුසිය

නා. කැමැත්ත ; රුචිය.

රුසියා

1. නා. මහා ප්‍රාඥයා ; ඉසිවරයා.
2. දක්ෂයා ; සමර්ථයා.

රුසිර

නා. රූප සම්පත්තිය.

රුසිරු

වි. සිත්කලු වූ ; රුචිර වූ.
නා.ප්‍ර. රූපශ්‍රීය ; රුචිර භාවය ; සිත් ගන්නා-සුලු බව.

රුහ

1. වි. ඉපදුණු ; හටගත් ; පැනනැඟුණු.
2. නැඟුණු ; ආරූඪ වූ.

රුහනය

නා. ඇතිවීම ; වැඩීම ; වර්ධනය වීම.

රුහශාක

නා.ප්‍ර. ගස්වල කඳන් සහ ශාඛා මත වැවෙන උඩවැඩියා වැනි පැළ.

රුහිර

නා.ප්‍ර. ලේ ; රුධිරය.

රුහුරනවා

ක්‍රි. සොලවනවා.

රුහුළනවා

ක්‍රි. පොළනවා.

රුළු

වි. රළු ; කටුක ; ගොරෝසු.

රූ කමටහන

නා. රූප කර්මස්ථානය ; ශරීරය රූප කලාප වශයෙන් මෙනෙහි කිරීමේ භාවනාව.

රූ කය

නා.ප්‍ර. පඤ්චේන්ද්‍රියට ගෝචර වන ශරීර ස්කන්ධය.

රූ කළ

වි. මනාව සකස් කළ ; මට්ටම් කළ හෝ ඔප දැමූ.

රූ තලය

නා. රූපය පමණක් ඇති බ්‍රහ්ම ලෝකය ; රූපාවචර බ්‍රහ්ම ලෝකය.

රූ නඟනවා

ක්‍රි. ශෝභන කරනවා ; අලංකාර සටහන් හෝ රූප යොදා සරසනවා.