සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1362

රුපු අසුර

1. නා.ප්‍ර. අසුරයන්ගේ සතුරා වන ශක්‍ර දේවේන්ද්‍රයා.
2. විෂ්ණු දෙවි.

රුපුඅනඟ

නා.ප්‍ර. අනංගයාගේ සතුරා වන ඊශ්වර දෙවියා.

රුපුනෙඩි

[රුපුන් + එඩි]
නා.ප්‍ර. සතුරන්ගේ එඩිතරකම.

රුපුසෙන්

නා.ප්‍ර. සතුරු හමුදාව ; සතුරු බළ සෙනඟ.

රුබාබ්

නා.ප්‍ර. ඇඹුල් රසැති මාංශලදණ්ඩ සහ පුළුල් පත්‍රයකින් යුක්ත එළවළු.

රුබීඩියම්

නා.ප්‍ර. ආවර්තිතා චක්‍රයේ පස් වැනි ආවර්තයේ පළමු වැනි කාණ්ඩයට අයත් මූලද්‍රව්‍යයක්.

රුරු

නා.ප්‍ර. රතු පැහැ ගත් කුඩා සිරුරකින් යුත් මුව වර්ගයක්.

රුලං

නා.ප්‍ර. තිරිඟු පිටි හළා ගැනීමෙන් පසු ඉතිරි වන කප්පි ; සැමෝලිනා.

රුව

1. නා. ඇසට ගොදුරු වන අරමුණ ; දෘෂ්ටියට ගෝචර වන වර්ණය.
2. හැඩය ; විලාසය.
3. අනුරුව ; ප්‍රතිමාව.
4. චිත්‍රය.
5. සුන්දරත්වය ; රූපශ්‍රීය.
6. ශරීරය ; දේහය.

රුවකැටිය

නා. අතිශය රූප ශෝභාව ; අධික රූපශ්‍රීය.

රුවන

1. නා. වර්ණයෙන් හා දීප්තියෙන් යුත් පාෂාණ විශේෂයක් ; මාණික්‍යය ; මාණික්‍යය ; රත්නය ; මැණික.
2. රත්රන්.
3. පරම ශ්‍රේෂ්ඨ වස්තුව ; උසස් ම පූජනීය වස්තුව.

රුවනකර

1. නා.ප්‍ර. මුහුද ; සමුද්‍රය.
2. මැණික් පතලය.

රුවනවා

ක්‍රි. ඇතුළු කරනවා ; බහාලනවා.

රුවන්

වි. මැණික්වලින් සාදන ලද ; රුවන්මුවා ; රත්නමය.
1. නා.ප්‍ර. මැණික් ; මාණික්‍යය.
2. උතුම් දෑ.

රුවන් කෙළි

නා.ප්‍ර. පුරාණ සිංහල කාන්තාවන් විසින් කරන ලද එළිමහන් ක්‍රීඩාවක්.

රුවන් පන්තිස

නා. ත්‍රිවිධරත්නය උතුම් ම රත්න බවට පැමිණීමට හේතු වශයෙන් රතන සූත්‍රයෙහි දැක්වෙන තිස්පස් ගුණය.

රුවන් බත්

වි. මැණික් බඳින ලද ; මැණික් ඔබ්බන ලද.

රුවන් බඳ

වි. රුවන් බත් බ.

රුවන් මළුව

නා. රුවන්වැලි සෑය ගොඩනංවන ලද ස්ථානයට ඉන් පෙර හැඳින්වූ නාමය.

රුවන් සක්මන

නා. රත්නයෙන් නිමවන ලද සක්මන් මඟ ; රත්න චඞ්ක්‍රමණය ; බුද්ධත්වයෙන් පසු තෙ වැනි සතිය තුළ බුදුරදුන් සක්මන් කළ මඟ.

රුවන් සින්නම්

නා.ප්‍ර. පුරාණ ලංකාවේ භාවිත වුණු නළා විශේෂයක්.

රුවන්ගිර

නා.ප්‍ර. මහමේරු පර්වතය.

රුවන්තියා

නා.ප්‍ර. බුද්ධ, ධම්ම සහ සංඝ යන රුවන් තුන ; තුන්රුවන ; ත්‍රිවිධ රත්නය.

රුවන්මෙර

නා.ප්‍ර. රනින් නිම වූ මහමේරු පර්වතය ; රන්ගිර.