සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1361

රුධිර ධාවනය

නා. රුධිර නාල ඔස්සේ ශරීරය පුරා ලේ ගමන් කිරීම ; රුධිර චාක්‍රණය ; රුධිර සංසරණය.

රුධිර නාල

නා.ප්‍ර. රුධිරය සංසරණය වන ධමනි, ශිරා, කේශනාලිකා යන නාල ; රුධිරවාහිනී.

රුධිර පටලය

(පාරිභා.) නා. ලෙයෙහි ඇති තුනී සිවිය.

රුධිර පට්ටිකා

(පාරිභා.) නා.ප්‍ර. රුධිරයෙහි ඇති සෛල විශේෂයක් ; ත්‍රොම්බින් සෛල.

රුධිර පාරවිලයනය

නා. කෙනකූගේ ලෙය වෙන කෙනකුගේ ශරීරයට ඇතුළු කිරීම ; රුධිර ප්‍රවේශනය.

රුධිර පීඩනය

(පාරිභා.) නා. රුධිර ධාවනයෙන් නහර තුළ ඇතිවන බලවේගය ; ප්‍රධාන ධමනිවල ඇතිවන පීඩනය.

රුධිර මස්තු

(පාරිභා.) නා.ප්‍ර. කැටිගැසුණු ලේවලින් හෝ ප්ලාස්මයෙන් ඉවත් කරනු ලැබූ තරලය.

රුධිර සංචායකය

(පාරිභා.) නා. ලේ රැස් කොට ඇති තැන ; ලේ ගබඩාව.

රුධිර සංසරණය

නා. රුධිර වාහිනී තුළ ලේ ගමන් කිරීම ; රුධිර ධාවනය.

රුධිර ස්‍රාවය

(පාරිභා.) නා. ලේ වැගිරීම ; රක්තපාතය ; රක්තාහරණය.

රුධිර හීනතාව

නා. ලේවල හිමොග්ලොබින් අඩුකම ; නිරක්තිය ; රක්තහීනතාව.

රුධිරය

1. නා. ශරීරයේ පටක තුළින් සංසරණය වන, ප්ලාස්මය නම් ද්‍රව කොටසකින් හා සෛල පට්ටිකා ආදියෙන් යුත් ඝන කොටසකින් සැදුම්ලත් තරලය ; රතු වර්ණකයක් (හිමොග්ලොබින්) දිය වී ඇති සෛල ඇතුළත් ද්‍රාවණය ; ලේ ; ලෙය.
2. තඹ.
3. අඟහරු ග්‍රහයා.
4. විපත් ඇති කරන ගෘහ ප්‍රභේදයක්.

රුධිරාණු

(පාරිභා.) නා.ප්‍ර. ලෙයෙහි රතු සහ සුදු වශයෙන් අන්තර්ගතව ඇති සෛල විශේෂය.

රුධිරාශය

(පාරිභා.) නා. ලේ පිරුණු කුඩා කුහරය ; රුධිර කුටීරය.

රුධිරෝද්ගාරය

[රුධිර + උද්වාරය]
නා. ලෙය වමනය කිරීම ; මුවින් ලේ පිට කිරීම.

රුනඟ

නා.ප්‍ර. සමුද්‍රය ; සාගරය ; ජලනිධිය.

රුන්ධ

වි. අවුරන ; නවත්වන ; වළක්වන.

රුපන

වි. පීඩාවට පත් ; පෙළීමට පත් වූ.

රුපඳුර

[රුපු + අඳුර]
නා. සතුරන් නමැති අන්ධකාරය.

රුප්නවා

1. ක්‍රි. රෝපණය කරනවා ; සිටුවනවා.
2. පීඩා කරනවා ; පෙළනවා.

රුප්පනය

1. නා. වෙනස්වීම.
2. හානිය ; පීඩාව.

රුප්පය

1. නා. රුක් පාව ; වෘක්ෂ මූලය ; ගසක පා මුල ; ගසක පාමුල අවට ඇති බිම් පෙදෙස.
2. ඝනව විහිදී පවතින ශාඛා මණ්ඩලය සහිත ගස.
3. කැලෑව ; වනාන්තරය.
4. ඉඩම් කට්ටිය ; බිම් පංගුව.
5. ගස් කොළන් රහිත සමතලා බිම් පෙදෙස ; පිට්ටනිය.
6. සෙල්ලම් පිට්ටනිය.
7. ගිමන් හරින ස්ථානය.

රුපියල

1. නා. ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයක භාවිත වන මුදල් ඒකකය.
2. රුපියලක අගයෙන් යුතු රිදී කාසිය.

රුපු

1. වි. සතුරු ; විරුද්ධවාදී.
2. ආඩම්බර ; උඩඟු ; ගර්විත.
3. රෝපණය කරන ලද ; රෝපිත.
1. නා.ප්‍ර. සතුරා ; විරුද්ධවාදියා.
2. ආඩම්බරය ; අහංකාරය.