සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1537

වියකර

(කථා.) නා. කරත්තයක හෝ නගුලක හෝ ගවයාගේ කර මතට හේත්තු වන ලීය.

වියක්ඛ්‍යය

නා. අර්ථකථනය ; අරුත් කීම.

වියකූර

නා. ගොනකුගේ පිටේ ඇති ලොම් සුළිය.

වියකෙනවා

ක්‍රි. වියළී යනවා ; මැකී යනවා.

වියගළ

නා. වයස් ප්‍රමාණය, වයස් ගණන.

වියගුර

නා. කලබලය ; කලහය.

වියඟුල

නා. අඟලකින් හතෙන් පංගුවක් වන පුරාණ මිම්මක්.

වියත

1. නා. අගල් දොළසක දිග ප්‍රමාණය.
2. අහස ; ආකාසය.

වියත්

නා.ප්‍ර. ව්‍යක්ත ; දක්ෂ ; උගත් ; දැන උගත් ; විශේෂඥ.

වියත් කඩ

නා. අඟල් දොළසක පමණ වස්ත්‍ර කැබැල්ල.

වියත් පත් අට ගණය

නා. පැරණි සිංහල රජුන්ගේ පාලන තන්ත්‍රයට සම්බන්ධ වූ මණ්ඩල අට.

වියත් මැනීම

(කථා.) නා. ළමා ක්‍රීඩාවක් ; ළමයින් කජු ඇටවලින් කරන සෙල්ලමක්.

වියත්නා

නා.ප්‍ර. පැරණි සිංහල රාජ සභාවේ රජුට අනුශාසනා කළ පණ්ඩිතයන්ගේ ප්‍රධානියා.

වියද

නා.ප්‍ර. රෝගය ; ව්‍යාධිය.

වියදම

නා. බඩු මුට්ටු සේවා ආදිය සඳහා ගෙවන මුදල ; වැය.

වියදම් කද

(කථා. උඩ.) නා. මණමාළයා මණමාළියගේ ගෙදරට කෑම වියදම් පිණිස මඟුල් දිනට පෙර ගෙන යන කද ; තෑගි බෝග.

වියදම් කාර්යය

(පාරිභා.) නා. වැඩ කිරීම වෙනුවෙන් වියදම් දැරිම හෝ දරන වියදම.

වියදම් ගිණුම

(පාරිභා.) නා. වියහියදම් ගණන් තබන ලේඛනය.

වියදම් ජර්නලය

(පාරිභා.) නා. දිනපතා කරන වියදම් ලියා තබන පොත.

වියදම් පඩිය

නා. භික්ෂූන්ගේ යැපීම සඳහා ලැබෙන සේ යොදා ඇති ආදායම් මාර්ගය.

වියදම් පැහැදම්

නා.ප්‍ර. වැය කිරීම සඳහා වෙන් කරන ලද මුදල් ; වියදම සඳහා අවශ්‍ය මුදල් ; විය පැහැදම්.

වියදම් ලේඛනය

(පාරිභා.) නා. වියදම් පිළිබඳ ක්‍රමානුගත සවිස්තර ලියවිල්ල.

වියදම් විභාජනය

(පාරිභා.) නා. වියදම් කොටස්වලට බෙදා වෙන් කිරීම.

වියදම් ශීර්ෂය

(පාරිභා.) නා. වැය විස්තරය.

වියදුන්

1. නා.ප්‍ර. ව්‍යංජනාක්ෂරය ; ගාත්‍රාක්ෂරය.
2. විශේෂ ලක්ෂණ.
3. ඛාද්‍ය ; කැවිලි.