සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1538

වියන

1. නා. දූලි ආදිය වැටීම වැළැක්වීම සඳහා වහලක් යටින් අතුරා බඳින රෙද්ද.
2. ඇඳක සිවු කොන්හි පිිහටි කණු මත තිරස්ව බඳින රෙද්ද.
3. ගෞරවනීය වස්තුවලට නොයෙක් උතුමන්ට ඉහළින් අතුරනු ලබන රෙද්ද.
4. ඝන කැලෑවක ඉහළින් අතු වැල් ආදිය එකිනෙක පටලැවීමෙන් සෑදෙන ස්තරය.

වියන යන්ත්‍රය

(පාරිභා.) නා. රෙදි ආදිය විවීමට භාවිත කරන යන්ත්‍රය.

වියනය

නා. සෑදී ඇති අන්දම ; ව්‍යූහය.

වියනවා

ක්‍රි. නූල් ආදියෙන් රෙදි කලාල ආදිය හෝ පන් ආදියෙන් පැදුරු, වට්ටි, මාගල් ආදිය හෝ තනනවා.

වියන් ඇඳ

නා.ප්‍ර. උඩින් වියනක් තිබෙන ඇඳ ; පබිලියම.

වියන් තට්ටුව

1. නා. වියන මෙන් පැවතීමට වහලකට යටි පැත්තේ සවි කරන ලද ලෑලි තට්ටුව.
2. (කථා.) වියනක් අතුරා සාදන ලද ආසනය.

වියන් දුඹුළු

නා.ප්‍ර. දුම් ගනව බැඳීම නිසා අටු, බිත්ති ආදියෙහි බැඳෙන දැලි වැදලි.

වියන් පට

නා.ප්‍ර. වියන් බැඳීම සඳහා යොදගන්නා වස්ත්‍රය.

වියන් පෝරුව

නා. වියන් තට්ටුවේ ලෑල්ල ; සීලිං ලෑල්ල.

වියන් බඳිනවා

ක්‍රි. වියන් රෙදි ගට ගසනවා.

වියන් සිත්තම

නා. විහාර, දේවස්ථාන ආදියෙහි වියන් තට්ටුවෙහි අඳින ලද සිතුවම ; විතාන චිත්‍ර කර්මය.

වියපත

නා. වයසට පත් තැනැත්තා ; වැඩිහිටියා.

වියපතඟයා

නා. කෘමියකුගේ නාමය ; පළඟැටියා.

වියපත්

වි. වයසට පත් වූ ; මහලු බවට පැමිණි.

වියබාන

නා. ගවයා විය ගහේ බඳින ලණුව ; වියරැහැන ; වියලණුව.

වියබානවා

(කථා.) ක්‍රි. ගොයම් කපනවා.

වියමක්කාරයා

(කථා.) නා. බෙර වයන්නා ; බෙරකාරයා.

වියමන

1. නා. ලණු, රෙදි, පැදුරු ආදිය විවීම.
2. වියත දැයක කෙඳි, නූල්, පන් ආදි දෑ අන්‍යෝන්‍යව ගෙතී පවතින ආකාරය.

වියමල

(කථා.) නා. විය ගහේ ලණුව දමන සිදුර ; විය සිදුර.

වියමෑය

නා. ඒරිය කඳට වියදණ්ඩ සවි කිරීමට ගසන හුල.

වියරණය

නා. නිවැරදි භාෂා ව්‍යවහාරය පිළිබඳ සම්මත ශිල්පීය ක්‍රමය ; කථාවේ දී හෝ ලිවීමේ දී භාෂාව මෙහෙයවීම පිළිබඳ සම්මතය ; ව්‍යාකරණ ශාස්ත්‍රය.

වියරු

වි. විකාර ; පිස්සු.

වියරු වැටෙනවා

ක්‍රි. උමතු වෙනවා ; පිස්සු වැටෙනවා.