සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 158

අයඃකාන්ත

නා.ප්‍ර. කාන්දම; චුම්බකය.

අයඃශූලය

නා. යකඩින් කළ උල; යකඩ උල; යවුල.

අයකරනවා

1. ක්‍රි. බදු එකතු කරනවා; කරවුවර ගන්නවා; අයබදු වශයෙන් මුදල් ලබනවා.
2. ක්‍රි. භාණ්ඩ හෝ සේවා සඳහා මිලක් නියම කොට මුදල් ලබා ගන්නවා.

අයකැමියා

1. නා. අයවැය විස්තර ලියා තබන්නා; ගණන් තබන්නා.
2. නා. වතුපිටි ආදියෙන් උපදින අය හෙවත් ආදායම එකතු කරන්නා.
3. නා. රජයේ භාණ්ඩාගාරයට ලැබෙන භාණ්ඩ තක්සේරු කරන නිලධාරියා; ගණන් පරීක්ෂකයා.

අයට වැටෙනවා

ක්‍රි. විපතට පත් වෙනවා; දුප්පත් වෙනවා; නැති බැරිවෙනවා.

අයඩින්

නා.ප්‍ර. (රසා.) අලෝහ හා හැලජන් පවුලට අයත් මූලද්‍රව්‍යයක්.

අයත්නයෙන්

ක්‍රි.වි. උත්සාහයක් නැති ව; නිරුත්සාහයෙන්; නිරායාසයෙන්; ඉබේ.

අයතැන්

1. නා.ප්‍ර. පුරාණයෙහි ලක්දිව පැවති ප්‍රධාන බෞද්ධ ආයතන හෙවත් මූලස්ථාන අට.
2. නා.ප්‍ර. බෞද්ධ ආයතනයක හෙවත් මූලස්ථානයක ප්‍රධානියා.

අයථා

වි. නුසුදුසු; අයෝග්‍ය; අයුතු; වැරදි.

අයදනවා

ක්‍රි. ඉල්ලා සිටිනවා; ආයාචනය කරනවා; යාච්ඤා කරනවා.

අයදීම

නා. ඉල්ලා සිටීම; ආයාචනය.

අයදුම්කරුවා

නා. ඉල්ලුම්කරුවා; අපේක්ෂකයා.

අයදුම්පත

1. නා. ඉල්ලුම් පත්‍රය.
2. නා. දිවුරුම් පත.

අයදුම්පොත

නා. බඩු ඉල්ලා යවන ලියුම්වල පිටපත තබා ගන්නා පොත.

අයන ගෝලය

(පාරිභා.) නා. පෘථිවි පෘෂ්ඨයට උඩින් පිහිටි අයනීකරණය සිදු වන්නා වූ ප්‍රදේශය (=ionosphere).

අයන සංචරණය

(පාරිභා.) නා. යම්කිසි බලයක මෙහෙයවීමෙන් නම් කරන ලද දිසාවක් කරා අයන ගමන් කිරීම (=migration of ions).

අයනය

1. නා. ගමන යෑම.
2. නා. මාර්ගය; මාවත.
3. නා. සූර්යයා දක්ෂිණායනයේ සිට උත්තරායනයට හෝ උත්තරායනයේ සිට දක්ෂිණායනයට හෝ ගමන් කිරීමට ගන්නා මාස හයක කාලය.

අයනාංශකය

(පාරිභා.) නා. කිසියම් දිනක හිරු මුදුන් වන අක්ෂාංශකය.

අයනීකරණය

(පාරිභා.) නා. (රසා.) විදුලිය මගින් උදාසීන වූ ද්‍රව්‍යයකින් අයන ජනනය කිරීම (=ionisation).

අයප

වි. (විනය.) අකැප; නුසුදුසු; යෝග්‍ය නුවූ.

අයපති

නා.ප්‍ර. (ජ්‍යෝති.) කේන්ද්‍රයක අයස්ථානය හෙවත් එකොළොස්වැන්න අධිපතියා.

අයපස්

නා.ප්‍ර. යකඩ සහිත පස; පොළොවෙන් හාරා ගනු ලබන විවිධ ප්‍රමාණයෙන් යකඩ ලෝහයෙන් යුක්ත පස්; යපස්.

අයපළ

නා. අයබදු එකතු කරන ස්ථානය.

අයම

නා. දිග; ආයාමය.