සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 157

අමේධ්‍යය

නා. අපවිත්‍ර දෙය; අශූචි; මල.

අමෝඝවාදියා

නා. හිස් නොවූ තෙපුල් ඇත්තා; බුදුරජාණන් වහන්සේ.

අමෝදය

1. නා. සතුට; සන්තෝෂය; ආනන්දය.
2. නා. සුගන්ධය; සුවඳ ද්‍රව්‍යය.

අමෝරනවා

ක්‍රි. (පහර දීමට පළමු ආයුධාදිය) තර්ජන වශයෙන් ඔසවනවා; ලෙළවනවා; උරුක්කු කරනවා.

අමෝරාව

(කථා.) නා. විරුද්ධතාව.

අමෝහය

නා. මෝහ විරහිත බව; නුමුළා බව; අවිද්‍යාවෙන් තොර බව.

අඹ

1. නා.ප්‍ර. මියුරු රසැති කහවන් මදය සහිත ඝර්ම කලාපීය පලතුරු වර්ගය.
2. නා.ප්‍ර. දිය; ජලය.
3. නා.ප්‍ර. මව; අම්මා.
4. නා.ප්‍ර. අඹුව; භාර්යාව.
5. නා.ප්‍ර. වලාකුළ; මේඝය.
6. නා.ප්‍ර. බත; ආහාරය.

අඹ යහළුවා

නා. ඉතා කුළුපග මිත්‍රයා; අතිශයින් හිතවත් යාළුවා.

අඹනවා

1. ක්‍රි. පිරිමදිනවා; සම්බාහනය කරනවා.
2. (කථා.) ක්‍රි. අණ්ඩ පහ කරනවා; බීජෝද්ධරණය කරනවා; කර අඹනවා.
3. ක්‍රි. පිළිම කැටයම් ආදිය සාදනවා; තනනවා; නිර්මාණය කරනවා.
4. ක්‍රි. ලුහු බඳිනවා; එළවාගෙන යනවා.

අඹර

1. නා.ප්‍ර. අහස; ආකාශය.
2. නා.ප්‍ර. ඇඳුම; වස්ත්‍රය.
3. (ජ්‍යෝති.) නා.ප්‍ර. කේන්ද්‍රයක දසවැනි ස්ථානය.

අඹරනවා

1. ක්‍රි. එකට ඔතනවා; වෙළනවා.
2. ක්‍රි. සුනු කරනවා; කුඩු කරනවා; පිටි කරනවා.
3. (රූඪි.) ක්‍රි. අමාරුවට පත්කරනවා.

අඹරාව

1. නා. කරත්තයක් හෝ පාරුවක් මත ආරුක්කු හැඩයට සාදන ලද ආවරණය; පියස්ස; වහල.
2. නා. (ගමන බිමන සඳහා) කොළපතෙහි බැඳ ගත් කැවිලි.

අඹරෝර

[අඹර + ඕර]
නා. ගුවන් ගැබ; නුබ කුස; ආකාශ කුහරය.

අඹහළුවා

1. (කථා.) නා. අධික ලෙස කෑම කන තැනැත්තා; කෑදරයා.
2. නා. අධික ලෙස කථා කරන්නා; වාචාලයා.

අඹළ

වි. ඇඹරූ; කරකැවූ; භ්‍රමණය වූ.

අඹා ගන්නවා

ක්‍රි. ලුහු බඳිනවා; එළවාගෙන යනවා; ලුහු බැඳ ගොස් අල්ලා ගන්නවා.

අඹා යනවා

ක්‍රි. පසුපස එළවා යනවා.

අඹුව

1. නා. ආවාහ කරගත් ස්ත්‍රිය; භාර්යාව.
2. නා. ස්ත්‍රිය; කාන්තාව; වනිතාව.
3. නා. ලුණු කැඳ; කාඩි දිය; බෙහෙත් කැඳ.

අය

1. නා.ප්‍ර. තැනැත්තා.
2. නා.ප්‍ර. තැනැත්තෝ; පුද්ගලයෝ; දනා; පිරිස.
3. නා.ප්‍ර. ආදායම; ධනය; අයබදුවලින් ලැබෙන මුදල; වාසිය.
4. නා.ප්‍ර. යකඩ.
5. (කථා.) නා.ප්‍ර. දිළිඳු බව; නැති බැරිකම.

අය පඬුර

1. නා. තුටු පඬුර; තෑග්ග.
2. නා. අයබදු; කරවුවර.

අය ප්‍රවේණිය

නා. අයබදු ගෙවීමෙන් උරුමයට අයිති වූ ඉඩම.

අය පුස්තකය

නා. ආදායම ලියා තබන ලේඛනය.

අය බද්ද

නා. ආදායමින් හෝ දේපළ වටිනාකමින් පුරවැසියකු රජයට ගෙවිය යුතු කොටස; ආදායම් බද්ද.

අය මුඛය

1. නා. ආදායම් උපදින මාර්ගය.
2. නා. ආදායම.