සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 156

අමුතු තෙර

නා. ආගන්තුක ස්ථවිර; වෙනත් විහාර සීමාවකින් පැමිණි භික්ෂුව.

අමුතු බත

1. නා. අමුත්තන්ට පිළියෙල කරන ලද බත.
2. නා. ගොයම් කැපීමෙන් පසු අලුත් සහලින් පළමුව පිසින ලද බත.

අමුතුව

1. නා. අලුත් දෙය; විශේෂ දෙය.
2. නා. වෙනස; වෙනස් වූ දෙය.

අමුතුවත්

නා.ප්‍ර. ආගන්තුකයන්ට කරන වත් පිළිවෙත්.

අමුතුවා

නා. අමුත්තා; බැහැරින් ආ තැනැත්තා; ආගන්තුකයා.

අමුද්‍රව්‍ය

1. නා.ප්‍ර. කර්මාන්ත සඳහා අවශ්‍ය එහෙත් සකස් නොකළ ද්‍රව්‍ය; දළ ද්‍රව්‍ය.
2. නා.ප්‍ර. නොවියළි බෙහෙත් ද්‍රව්‍ය.

අමුරන්

නා.ප්‍ර. ශුද්ධ නොකළ රන්; හිරණ්‍ය.

අමුරෙදි

නා.ප්‍ර. ප්‍රකෘති වර්ණය වෙනස් නොකළ රෙදි; තම්බා සුදු නොකළ නූලෙන් වියූ රෙදි (=grey cloth).

අමුව

1. නා. ආහාර නොදිරවීම; අජීර්ණය; ආමය.
2. නා. පටන් ගැන්ම; ආරම්භය; ආමුඛය.

අමුසිංහල

(කථා.) නා.ප්‍ර. අශිෂ්ට සිංහල ව්‍යවහාර; අසභ්‍ය වචන; අමු හිංගල; කුණුහරුප.

අමූල්‍ය

වි. මිල කළ නොහැකි; අගය කළ නොහැකි; අගනා.

අමූලික

වි. මුලක් නැති; හේතුවක් හෝ කාරණයක් නැති.

අමූලික බොරුව

නා. කිසි ම හේතුවක් හෝ පදනමක් නැති බොරුව; අමු බොරුව; අසත්‍යය.

අමූළ්හ

වි. මුළා නොවූ; උමතු නොවූ; සිහි විකලත්වයට නොපැමිණි.

අමූළ්හවිනය

නා.ප්‍ර. සිහිවිකල කාලයෙහි සිදු වූ ඇවතක් ගැන භික්ෂුවක් හට දෙන අධිකරණ සමථය; උමතු වූ භික්ෂුවක් ශ්‍රමණ සාරුප්‍ය නොවූ ඇවතට පැමිණේ ද, උමතු බැවින් මිදුණු පසු ඒ ඇවත ගැන ඒ භික්ෂුවට චෝදනා කිරීමට අනික් භික්ෂූන්ට අවසර නොලැබෙන සේ පැනවූ විනය නීතිය.

අමෘත

වි. මරණ රහිත; අමරණීය; දිව්‍යමය.

අමෘත පද

නා. මරණ රහිත ස්ථානය; නිවන.

අමෘත පානය

නා. අමෘත ජලය; අමා පැන්.

අමෘත හස්තය

1. නා. ස්පර්ශයෙන් පවා ගුණදෙන අත; අත්ගුණය ඇති අත.
2. නා. නෘත්‍යයේ එන හස්ත මුද්‍රාවක නාමය.

අමෘතකර

නා.ප්‍ර. අමාරැස් ඇත්තා; චන්ද්‍රයා.

අමෘතය

1. නා. දෙවියන්ගේ සුධා භෝජනය; අමාව.
2. නා. ජලය; දිය.
3. නා. කිරි.
4. නා. ගිතෙල්, වෙඬරු.
5. නා. බත්.
6. නා. රන්.
7. නා. රසදිය.

අමෘතාකරය

නා. අමෘතයේ උත්පත්ති ස්ථානය; කිරි මුහුද.

අමෘෂාව

නා. බොරු නොවූව; මුසා නොවූව; සත්‍යය.

අමෘෂාවාදය

නා. නිබොරු තෙපුල; සත්‍යවාදය.