සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 159
අයම් විතර
නා. දිග හා පළල.
අයලයා
(කථා.) නා. (ගෙයක් දොරක් නැති ව) දඩාවතේ ඇවිදින තැනැත්තා; ඉබාගාතේ යන්නා.
අයවැය
නා. ආදායම හා වියදම; අය විය යුතු හා වියදම් කළ යුතු මුදල.
අයවැය ඇස්තමේන්තුව
නා. රජයේ ආදායම හා වියදම ගණන් බලා පිළියෙල කරනු ලබන වාර්ෂික ලේඛනය.
අයවැය ලේඛනය
නා. අවුරුද්දේ අයවැය පිළිබඳ වාර්තාව (=budget).
අයශස්
නා.ප්‍ර. අපකීර්තිය; අවනම්බුව.
අයශ්ශලාකාව
නා. යකඩයෙන් තැනූ හුල; යහුල; යකඩ උල; යවුල; අයශූලය.
අයස
1. නා. අපකීර්තිය; අවනම්බුව.
2. නා. වෙහෙස; පීඩාව; ආයාසය.
අයස්
නා.ප්‍ර. යකඩ.
අයස්කාන්තය
නා. යකඩ ඇද ගන්නා කාන්දම; චුම්බකය.
අයස්කාරයා
නා. යකඩ වැඩ කරන්නා; කම්මල්කාරයා.
අයස්කූටය
නා. යකුළ; කුළුගෙඩිය.
අයස්තානය
නා. (ජ්‍යෝති.) යමකුගේ ජන්ම කේන්ද්‍රයේ ආදායම් ආදි ලාභ ප්‍රයෝජන ගැන කියවෙන ස්ථානය; කේන්ද්‍රයක එකොළොස් වන රාශිය.
අයහපත
නා. යහපත් නොවන දෙය; අශුභය.
අයා ගන්නවා
1. ක්‍රි. (තමා වෙත) ඇදගන්නවා.
2. ක්‍රි. විවෘත කරනවා; විදහනවා.
අයාමෙන්
ක්‍රි.වි. පසු වීමෙන්; ගත වීමෙන්; අභාවයෙන්; මරණයෙන්.
අයාල
වි. දඩාවතේ ඇවිදින; ඉබාගාතේ යන.
අයිත්තම
නා. ශරීරාලංකාරය සඳහා ගැනෙන වස්ත්‍ර හා ආභරණය; ඇඳුම.
අයිතිකාරයා
නා. අයිතිය ඇති තැනැත්තා; හිමියා.
අයිතිය
නා. හිමිකම; උරුමය.
අයින
1. නා. රෑන; රොත්ත; රංචුව; සමූහය.
2. නා. කෙළවර; අද්දර; පැත්ත.
අයිනාදන
නා. අදින්නාදානය; සොරකම.
අයිරාව
1. නා. අධිකය; අතිරේකය.
2. නා. තමාගේ ජංගම ගිණුමෙහි ශේෂය ඉක්මවා බැංකුවෙන් ගන්නා මුදල.
අයිරාවණ
නා.ප්‍ර. ශක්‍ර දිව්‍යරාජයාගේ හස්තියා; ඓරාවණයා.