සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1583

වෙන්

1. නා.ප්‍ර. ඈත්වීම ; දුරස්වීම.
2. විෂ්ණු දෙවි.
3. වෙරළ ; සමුද්‍ර තීරය.
3. අහස ; ගුවන.

වෙන්කත

නා. විෂ්ණු දෙවියාගේ බිසොව.

වෙන්කම

(කථා. ඌව.) නා. විරුද්ධකම ; වෙනස්කම.

වෙන්කුරුකම්

නා.ප්‍ර. විරුද්ධකම් ; වෙනස්කම්.

වෙන්ගනාව

(කථා. බස්නා.) නා. රන් රිදී වැඩ කරන්නන්ගේ ගිනි උදුන.

වෙන්ගායම් මුදු

නා.ප්‍ර. නව නැටුම්වල දී පළඳින මුදු විශේෂයක්.

වෙන්ටියුරිමානය

(පාරිභා.) නා. වැසූ නළ තුළින් ද්‍රාව ගමන් කරන වේගය මැනීමේ උපකරණය.

වෙන්ඩන් වළල්ල

(කථා.) නා. රහු ගෙඩිය පාතට ලිස්සා ඒම වළක්වනු පිණිස පයේ බඳින රෙදි පටිය.

වෙන්දේසිය

නා. ඉල්ලුම්කරුවන් අතුරින් ඉහළම මිලක් ඉදිරිපත් කරන තැනැත්තාට භාණ්ඩ හෝ ඉඩම් අලෙවි කෙරෙන ප්‍රසිද්ධ විකිණීම් ක්‍රමය.

වෙන්පත

නා. අහස් මඟ.

වෙන්පද

1. නා.ප්‍ර. අහස.
2. වායුව.
3. විෂ්ණු පාදය.

වෙන්වීමේ ඔප්පුව

නා. (නීති.) අඹු සැමියන් වෙන්ව විසීමට එකඟවීමේ ඔප්පුව.

වෙන්වීමේ ප්‍රවේගය

(පාරිභා.) නා. (රසා.) අණුවක් වඩා සරල අණු හෝ පරමාණු බවට ප්‍රත්‍යවර්තව බිඳීයෑමේ දී යම්කිසි දිසාවකට චලනය වීමේ ශීඝ්‍රතාව.

වෙනිපත

(කථා. මාතලේ.) නා. වගුර ; වගුරු බිම ; ගොහොරුව.

වෙනුරුව

නා.ප්‍ර. තාපය හෝ විදුලිය හෝ සන්නයනයෙන් ගමන් කිරීම වැළැක්වීම හෝ එසේ වැළැක්වීමට යොදන ද්‍රව්‍යය.

වෙනුව

නා. හිලවුව ; ආදේශනය ; යමකුගේ නමින් ක්‍රියා කිරීමට පැවරුණු බලය.

වෙනෙ

1. නා. විරහය ; වියෝගය.
2. වනය ; කැලය.

වෙනෙනවා

ක්‍රි. හික්මෙනවා ; සංවර වෙනවා.

වෙනෙන්

1. ක්‍රි.වි. වේගයෙන්.
2. වේදනාවෙන්.

වෙනෙයා

නා. හික්මවිය යුත්තා ; දමනය කටයුත්තා.

වෙප්පැහිය

(කථා.) නා. කපටිකම ; ප්‍රයෝගය.

වෙපුල්

නා.ප්‍ර. මහත් බව ; විපුල බව.

වෙබ් අඩවිය

නා. කිසියම් සමූහ ව්‍යාපාරයක් හෝ සංවිධානයක් හෝ පුද්ගලයකු සම්බන්ධ තොරතුරු අවශ්‍ය අයගේ දැනගැනීම සඳහා අන්තර්ජාලයට එක්කොට තබා ඇති ස්ථානය ; ගුහරය.

වෙබ් ක්‍රමය

නා. ඉස්තරම් වර්ගයේ ක්‍රේප් රබර් සෑදීමේ පිළිවෙළ.