සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1582

වෙද උපත

නා. ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය ඇති වීම පිළිබඳ ප්‍රවේණිගත කතා පුවත.

වෙද නළාව

නා. රෝග පරීක්ෂාවේ හෘද ස්පන්දනය පරීක්ෂාව සඳහා ලබන බටහිර වෛද්‍ය උපකරණයක්.

වෙද පලම

නා. දේශීය වෛද්‍යවරුන් භාවිත කරන බර මිනුමක් ; මදටිය දෙසිය හතළිහ හෙවත් කලං දොළහ.

වෙද පිළියම

(කථා.) නා. රෝගයකට කරන ප්‍රතිකාර.

වෙද බත්

නා.ප්‍ර. ලෙඩක් සුවවීමට උපකාරි වන ආහාරය.

වෙද මතුර

නා. වේද මන්ත්‍රය ; වේද සංහිතා.

වෙද සතර

නා. වෛද්‍ය ශාස්ත්‍රය ; වෛද්‍ය ශිල්පය.

වෙද සල

නා. ඖෂධ ශාලාව ; ගිලන්හල.

වෙද සුළඟ

නා. උතුරු අප්‍රිකාවේ අති ශුෂ්ක පළාත් හරහා හමන සිසිල් සුළඟක්.

වෙදකම

1. නා. රෝග හඳුනාගෙන එයට නිසි පිළියම් යෙදීමේ කාර්ය මාර්ගය ; වෛද්‍ය කර්මය.
2. රෝගයකට කරන පිළියම ; ප්‍රතිකර්මය.

වෙදඟ

1. නා. රෝග නිර්ණය සහ ප්‍රතිකාරය සඳහා වෙදකු දැන සිටිය යුතු විෂය මාලාව.
2. වේදයේ උපාංග වන ෂඩ් ශාස්ත්‍රය ; භික්ෂා, කල්ප, ව්‍යාකරණ, නිරුක්ති, ඡන්දස්, ජ්‍යෝතිෂ යන සය වැදෑරුම් වේද අංග.

වෙදත්සත

නා. වේදාන්ත ශාස්ත්‍රය.

වෙදදර

නා.ප්‍ර. බ්‍රාහ්මණයා ; බමුණා.

වෙදන

නා. ඉන්ද්‍රියයක් අරමුණ සමග ගැටීමෙන් ඇතිවන දැනීම ; වේදනාව.

වෙදනා

නා. ප්‍රදාන වෛද්‍යවරයා ; වෛද්‍ය නායකයා.

වෙදරුත්

නා.ප්‍ර. වේද මන්ත්‍රවල අර්ථ.

වෙදසත

1. නා. කායික මානසික රෝගාබාධවලට ප්‍රතිකර්ම යෙදීම උගන්වන ශාස්ත්‍ර ක්‍රමය.
2. වේද ශාස්ත්‍රය.

වෙදසත් ගුරු

නා.ප්‍ර. වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ විශාරදයා.

වෙද්දම්

නා.ප්‍ර. වෙදකම ; වෛද්‍ය කර්මය.

වෙද්දලේ

(කථා. උඩ.) නා. කරදරය ; හිරිහැරය.

වෙදැඟිල්ල

[වෙද + ඇඟිල්ල]
නා. අතේ සුලැඟිල්ලටත්, මැදඟිල්ලටත් අතර පිහිටි ඇඟිල්ල.

වෙදුවාව

(කථා. වයඹ.) නා. විස බැස්සවීම සඳහා පිළියම් ක්‍රමයක් වශයෙන් දුම් ඇල්ලීම.

වෙන

වි. අන් ; අනෙක්; වෙනස්.
1. නා.ප්‍ර. කැලය ; වනාන්තරය.
2. වේදනාව ; රිදීම.
3. හික්මවීමට සුදුස්සා.

වෙනගෙය

නා. විවාහ වූ පසු මවුපියන්ගෙන් වෙන්ව අලුත් පවුලක් ලෙසින් වසන ගෘහය.