සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1581

වෙඩිප්පු කරනවා

ක්‍රි. රන් ආභරණ පලිප්පු දමා නැවත වර්ණවත් කිරීම පිණිස රත් කරනවා.

වෙඩිල්ල

නා. තුවක්කු ආදියෙහි යොදන පුපුරන ද්‍රව්‍ය ගුළිය ; තුවක්කුවලින් නිකුත් කරන උණ්ඩය හෝ මූනිස්සම් රාශිය.

වෙණ

1. නා. ඉන්දියානු සංගීත භාණ්ඩයක් වන වීණාව.
2. වීණාව හා සම්බන්ධ සංගීත ඥානය.
3. වීණා නාදය.
4. හුණ, බටලී ආදියෙන් කර්මාන්ත කළ පැරණි කුලයක් ; නළාකාර කුලය ; කුලු පොතු වංශය.
5. අශ්වයාගේ වලිගය.
6. නඟුල.
7. නඟුට.

වෙණද

වි. වෙළඳ කටයුතුවල නියැළුණු ; වෙළඳ කුලයට අයත් ; වෙළඳාම හා සම්බන්ධ.

වෙණදර

නා.ප්‍ර. වීණාවක් දරන්නා ; වීණා වාදකයා.

වෙණදහම

නා. වෙළඳාම.

වෙණදා

නා. වෙළෙන්දා.

වෙණි වටනවා

ක්‍රි. ගොයම් මිටි බඳිනවා.

වෙණිගාහ

නා.ප්‍ර. කොණ්ඩයෙන් අල්ලා ගැනීම.

වෙණිය

1. නා. කලාප වශයෙන් දෙ වෙන් කළ ගොයම්, පිදුරු ආදි දැය.
2. ගොතන ලද වරල.
3. වෙළු කැවූ දෙය.
4. නඟුල.
5. වලිගය ; නඟුට.

වෙණිය එතීම

නා. කමතේ සිට වන ලද කප වටේ ගොයම් ගස් එතී යාම.

වෙණිය ගහනවා

ක්‍රි. පිදුරු (ගොන් පාදවල) පැටලෙනවා ; එතෙනවා.

වෙණිය සලනවා

ක්‍රි. වලිගය සොලවනවා ; වනනවා.

වෙණිවර වළල්ල

නා. තම්මැට්ටම් ගැටිය වටා යොදන සම්පටි වළල්ල.

වෙණිවැල් ගැට

නා.ප්‍ර. ඖෂධීය ද්‍රව්‍යයක නාමය ; වෙණිවැලෙන් කපාගත් ගැට සහිත කොටස.

වෙණුක

නා. මුතු වර්ග අටෙන් එකක නාමය.

වෙත

1. නා.ප්‍ර. සමීපය ; ආසන්නය.
2. වේත්‍රය ; වේවැල.
3. ප්‍රසිද්ධිය ; ප්‍රකටිත භාවය.

වෙත වන

නා.ප්‍ර. වාසස්ථානයට යාබදව පිහිටි උයන ; උපවනය ; ගෙවුයන.

වෙතපත්

1. නා.ප්‍ර. වේවැල් කොළ.
2. සමීපයට පැමිණි.

වෙත් ගෙ

නා.ප්‍ර. දාන ශාලාව.

වෙත් වෙහෙර

නා. ආසන්නයෙහි වූ විහාරය.

වෙත්ත පථය

නා. වේවැල් පාලම ; වේවැල්වල එල්ලී යා යුතු මග.

වෙද

1. නා.ප්‍ර. පුරාණතම ඉන්දු ආර්යයන්ගේ සියලු දැනුමක් ම එක්තැන් කොට දක්වන ඥාන සංග්‍රහය ; සෘග්, යජුර්, සාම, අථර්වන් යන කොටස් හතරින් යුක්ත වේදය.
2. පැරණි මිනුමක්.
3. ගොටුව.
4. පෙරුම් කායම්.
5. රසදිය.
වි. වෙදකමට අයත්, වෛද්‍ය කර්මය හා සම්බන්ධ.

වෙද අටඟ

නා.ප්‍ර. ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ කොටස් අට.