සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1580

වෙජ්ජසාලා

නා.ප්‍ර. වෙදකම් කරන ස්ථානය ; ආරෝග්‍ය ශාලාව.

වෙට්ට

1. වි. පහත්; නීච ; අධම.
2. වියළි ; වැඩකට ගත නොහැකි.
3. කැපූ ; පෙති ගැසූ.

වෙට්ට පාකු

නා.ප්‍ර. පෙතිවලට කැපූ (ළා) පුවක් ; පෙති පුවක්.

වෙට්ට පිත්තල

නා.ප්‍ර. වැඩකට ගත නොහැකි පිත්තල ; වට පිත්තල.

වෙට්ට පිත්තලයා

නා. වැඩකට නැති තැනැත්තා ; තක්කඩියා.

වෙට්ට වේලිය

(කථා.) නා. 1. දෙදෙනකු අතර පවත්නා නොසතුට.
2. මුරණ්ඩු ගතිය ; ගරුසරු නැතිකම.

වෙට්ටන්

නා. වේතනය ; දීමනාව.

වෙට්ටම

1. නා. නගරයෙහි පවුරු මත සෑදූ මුර කොටු විශේෂයක්.
2. වැල්වලින් කළ සැරසිල්ල ; ලියකම.

වෙට්ටර

[වි.) මුරණ්ඩු ; දරදඬු ; අවිනීත ; දඩබ්බර.

වෙට්ටුව

(කථා.) නා. 1. පය පටලවා ගමනට කරන බාධාව.
2. ක්‍රීඩාවක දී ප්‍රතිමල්ලයා අබිබවා ලෑමට යොදනු ලබන උපක්‍රමයක්.
3. කැපීම.
4.- ලෝහ කැබලි කැපීමට ගන්නා විශේෂ කතුරක්.
5. කපටිකම ; රැවටිල්ල ; තක්කඩිකම.

වෙට්රෝබ් ශෛලිය

නා. මථුරා මූර්ති කලා ශෛලිය ; බුද්ධ ප්‍රතිමාවේ සිවුර සිරුරට ඇලුණාක් මෙන් නිමැවීම.

වෙඩ්ඩි

1. වි. කුළු ; හීලෑ නැති.
2. කලබලයට පත් ; චකිත වුණු.

වෙඩ්ඩියා

1. නා. කලබලයට පත් තැනැත්තා ; අශික්ෂිත, අවිනීත, දඩබ්බර පුද්ගලයා.
2. කුළු හරකා ; කුළු මීමා.

වෙඩි

1. නා.ප්‍ර. තුවක්කුවකින් නිකුත් වන උණ්ඩ හෝ මූනිස්සම් පොදිය.
2. ගිනිකෙළි වශයෙන් පත්තු කරන මල් වෙඩි.
3. අතිශය පුපුරන ශක්තියෙන් යුත් රසායනික මිශ්‍රණයක්.

වෙඩි උප්පු

නා.ප්‍ර. වෙඩි ලුණු.

වෙඩි ගහනවා

(කථා.) ක්‍රි. 1. තුවක්කුවෙන් වෙඩි තබනවා.
2. (විශේෂයෙන් උත්සව සඳහා) මල් වෙඩි ආදිය පුපුරවනවා ; වෙඩි පත්තු කරනවා.

වෙඩි තියනවා

ක්‍රි. ඉලක්කයට උණ්ඩයක් යාන්ත්‍රික ව වේගයෙන් යවනවා ; කුරුමානම් බලා තුවක්කුවේ කොකා ගස්සනවා.

වෙඩි පහර

නා.ප්‍ර. වෙඩි උණ්ඩ මඟින් දෙනු ලබන පහර.

වෙඩි පුලුන්

නා.ප්‍ර. කපු පුලුන්වලට නයිට්‍රික් අම්ලය සහ සල්ෆියුරික් අම්ලය යොදා සකස් කරගනු ලබන පුපුරන ද්‍රව්‍යයක්.

වෙඩි බඳිනවා

1. ක්‍රි. මල් වෙඩි සාදනවා.
2. මරුවැලක් දමා එය පාගන සතාට වදින ලෙස තුවක්කුව මානා තබනවා.
3. වෙඩි නොවදින්නට ආරක්ෂා කටයුතු කරනවා ; ගුරුකම් කරනවා.

වෙඩි බෙහෙත්

නා.ප්‍ර. වෙඩි ලුණු, ගෙන්දගම් සහ අඟුරු එකට යොදා සකස් කරගන්නා පුපුරන ද්‍රව්‍යය ; වෙඩි සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය.

වෙඩි මුරය

(කථා.) නා. හරසර දැක්වීම සඳහා සිදුකරන වෙඩි පත්තු කිරීම.

වෙඩි ලුණු

නා.ප්‍ර. වෙඩි බෙහෙත් සෑදීමට ගන්නා පොටෑසියම් නයිට්රේට් ලවණය.

වෙඩිකාරයා

1. නා. මල් වෙඩි සාදන්නා.
2. තුවක්කුවකින් වෙඩි තබන තැනැත්තා.
3. වෙඩි තබා සතුන් දඩයම් කරන්නා.