සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1737
සර්ප කරඬුව
නා. අහිගුණ්ඨිකයාගේ නයි පෙට්ටිය.
සර්පජ
නා.ප්‍ර. ඇතැම් නාගයන්ගේ හිසෙහි හටගන්නේ යැයි විශ්වාස කරනු ලබන මහානුභාව සම්පන්න නාග මාණික්‍යය.
සර්පණ කපාටය
(පාරිභා.) නා. කරකැවී හෝ තල්ලු වී ඇරෙන පියන.
සර්පණ රූල
(පාරිභා.) නා. එක රූලක් තුළ තවත් රූලක් පහසුවෙන් එහා මෙහා තල්ලු වන මිනුම් උපකරණයක්.
සර්පණය
නා. අවහිරයක් නැති ව තල්ලු වීම හෝ කැරකීම.
සර්පදාය
නා. දැඟලිල්ල ; නොසන්සුන්කම ; දඟකාර ගතිය.
සර්පයා
නා. විෂ සහිත දළ ඇතත් නැතත්, බඩ ගා යන අපාද උරග වර්ගීය සත්ත්වයා.
සර්පාකෘති
වි. දඟර ගසාගෙන සිටින සර්පයකුගේ ආකාරය ඇති.
සර්පාණු
නා.ප්‍ර. කොලරා රෝගකාරක ශාකාණු විශේෂය.
සර්පි
නා.ප්‍ර. එළඟිතෙල්.
සර්පිණී
නා.ප්‍ර. සංගීතයෙහි අටවැදෑරුම් කලාවලින් එකක්.
සර්පිනාව
නා. මයිනහමක ආධාරයෙන් සපයනු ලබන වායුව තෙරපීමෙන් ස්වර ශබ්ද නංවන බටහිර සංගීත භාණ්ඩයක්.
සර්පිල ගියරය
නා. ඉස්කුරුප්පුවේ කට්ට මගින් පැදවෙන, කෝණිකාව කපන ලද දත් ඇති ගියරය.
සර්පිල දුන්න
(පාරිභා.) නා. දඟර සහිත දුන්න.
සර්පිල නාලය
(පාරිභා.) නා. කර්ණසංඛයේ ඇති දඟර නළය.
සර්පිලය
නා. ඉස්කුරුප්පුවක පොට ආකාරයෙන් ආවර්තී ව එකට පසු එක නොහොත් එක මත එක පවතින දඟරය ; දඟර වැටුණු දුන්න.
සර්පිලාකාර
වි. මණ්ඩලාකාර ; දඟර වැටුණු ; රවුමට කැරකුණු.
සර්පිලාභ
වි. පැතලි දුන්නක් මෙන් දඟර වැටුණු.
සර්ව
වි. සියලු ; හැම ; සම්පූර්ණ.
සර්ව ඝෘතය
නා. රක්තවාතයට ඖෂධ වශයෙන් ගිතෙලින් කකාරා ගැනෙන ඖෂධ සංයෝගයක්.
සර්ව දමන
වි. සියල්ලන් ම දමනය කරන.
සර්ව පරාපර
වි. විශ්වයේ හැම තන්හි පැතිර සිටින්නා වූ.
සර්ව පරික්ෂිප්ත
වි. සම්පූර්ණයෙන් වට කළ ; හාත්පසින් ආරක්ෂා කරන ලද.
සර්ව පරිෂ්කාර
නා.බහු. සියලු පිරිකර ; අවශ්‍ය සියලු උපකරණ.