සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1736

සරලබහු වාර්ෂිකය

නා. සරල ක්‍රමවලින් බෝවීම වැළැක්විය නොහැකි පැළෑටි වර්ගය.

සරල්

වි. රැළි සහිත ; අගින් වකුටු වූ.

සරලාගාරය

නා. සුවඳ කුටිය ; ගන්ධකුටිය.

සරලුව

1. නා. හැන්ද.
2. ස්වල්පය ; ටික.
3. දුන්න ; දුන්නෙහි ලූ ඊය.

සරස

1. නා. ස්වකීය රසය ; ස්වභාව ලක්ෂණය.
2. විල ; තඩාගය.
3. රස හය ; ෂඩ් රසය.
වි. රස සහිත ; ශෘඞ්ගාරාදි රසයෙන් යුක්ත වූ.

සරසන

1. නා.ප්‍ර. දුන්න ; ශරාසනය.
2. දුන්නක දිග ; වඩුරියන් හතරක ප්‍රමාණය.

සරසප

1. නා.ප්‍ර. අබ ; සර්ෂප.
2. සිදුහත්.

සරසවිය

1. නා. වචනයට, කලාවට අධිපති දෙවඟන ; සරස්වතිය.
2. උසස් අධ්‍යාපන කටයුතු සිදු කෙරෙන ආයතනය ; විශ්වවිද්‍යාලය.
3. වචනය ; වාක් ශක්තිය.
4. ආකාශ ගංගාව.

සරස්

1. නා.ප්‍ර. කුඩ අල්ලන්නා.
2. ෂඩ් වර්ණය.

සරස්වතී

1. නා.ප්‍ර. වාග් දේවිය; මහා බ්‍රහ්මයාගේ දේවිය වන වචනයට අධිපති දෙවඟන.
2. වාක් ශක්තිය ; වචනය.

සරස්වතී මණ්ඩපය

නා. කලා ශිල්ප අධ්‍යයනය, සන්දර්ශන පැවැත්වීම ආදිය සඳහා පුරාණයේ තැනවූ ශාලාවක් ; සරසවි මඩුව.

සරස්වතී යෝගය

නා. ශාස්ත්‍රීය කටයුතුවලට සුදුසු වූ සුභ නැකතක්.

සරසි

1. නා.ප්‍ර. පියුම් විල.
2. මුහුද.

සරසිකාව

(පාරිභා.) නා. කුඩා හිදැස.

සරහනවා

1. ක්‍රි. අලංකාර කරනවා ; මනා ව සකස් කරනවා.
2. සූදානම් කරනවා ; දානය සකස් කරනවා.

සර්කන්

නා.ප්‍ර. ඇතැම් කළු වැලි ආශ්‍රිත ව පවතින විකිරණශීලි රසායනික ද්‍රව්‍යයක්.

සර්කය

නා. ග්ලැසියර් ඛාදනයට අසු වූ කඳුකර ප්‍රදේශවල හෑරි පවතින දළ බෑවුම් සහිත වටකුරු වළක්.

සර්කර

ශර්කරා බ.

සර්කස්

නා.ප්‍ර. සාමාන්‍යයෙන් වළයාකාර අංගණයක ගැහැණු පිරිමි ශිල්පීන් ද, පුහුණු කරන ලද ඇත්, අශ්ව, සිංහ, බලු, බළල්, පක්ෂි ආදින් ද විසින් රඟ දක්වනු ලබන ත්‍රාසජනක වූ ද විනෝදාත්මක වූ ද ක්‍රීඩා විශේෂයක්.

සර්කිට් උසාවිය

(පාරිභා.) නා. සංචාරක උසාවිය.

සර්ගය

1. නා. කාව්‍යයක පරිච්ඡේදය හඳුන්වන නාමයක්.
2. මැවීම ; නිර්මාණය.

සර්ජිත

වි. සරසන ලද ; නිර්මිත ; සජ්ජිත.

සර්ටියෝරාරි රිට් ආඥාව

නා. ඉහළ උසාවියකින් පහළ උසාවියකට යවන ලිඛිත නියමය.

සර්ප කංචුකය

නා. සර්පයාගේ හැව ; නිර්මෝකය.