සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1753

සහබන්ධනය

(පාරිභා.) නා. සහ සංයුජතා බන්ධනය.

සහභාගය

(පාරිභා.) නා. ව්‍යාපාරයක එක් හවුල්කරුවකුගේ දායක කොටස ; හවුල වශයෙන් ගෙවනු ලබන මුදල් හෝ අන් වස්තු ප්‍රමාණය.

සහභාගි

වි. එක් ව භජනය කරන ; හවුල් ; සහභාග.

සහභාවි

(පාරිභා.) වි. එකට පවතින ; එකට යෙදුණු.

සහභිජාත

වි. ලේ නෑ සම්බන්ධය ඇති පුද්ගලයන්ගේ සංසර්ගයෙන් උත්පත්තිය සිදුවන ; ඇවැස්ස.

සහභෝජිත්වය

(පාරිභා.) නා. දෙපක්ෂයට ම ප්‍රයෝජනවත් පරිදි එක් ජීවියකු මතුපිට අනෙක් ජීවියකු හෝ ජීවීන් කිහිප දෙනෙකු ජීවත්වෙමින් පවතින හවුල ; සහජීවිකතාව.

සහමතික

වි. එක සමාන මතයක් දරන ; අනුකූල.

සහමතිය

නා. අනුකූලතාව ; අදහස් සමබව.

සහයෝගය

නා. උදව්ව ; උපකාරය.

සහල

වි. ඇවිලෙන ; ගිනිදැල් සහිත.

සහලඟර

නා.ප්‍ර. ගිනි සහිත අඟුරු.

සහල්

නා.ප්‍ර. වී ඇටයක පොතු හෙවත් දහයියා ඉවත්කොට ශුද්ධ කළ කල්හි ඉතුරුවන ඇටය ; තණ්ඩුල ; හාල්.

සහලා

1. නා.ප්‍ර. යාළුවා ; සහෘදයා ; පුද්ගලයා.
2. පුරුෂයා ; පුද්ගලයා.
ක්‍රි.වි. ඉක්මනින් ; ශීඝ්‍රයෙන්.

සහලේ

වි. සමාන ලේ ඇති ; ලේ සම්බන්ධකම් ඇති.

සහවේදනය

(පාරිභා.) නා. සංවේදන මට්ටමෙන් පවතින සවිඥානික ඒකත්වය.

සහස

නා. දහස ; සහස්‍රය ; සහස්ස.
නි. වහා ; හනික.
වි. සිනා සහිත.

සහසංයුජතාව

(පාරිභා.) නා. ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ බෙදා ගැනීමෙන් පරමාණු දෙකක් සංයෝජනය වීම.

සහසකර

නා.ප්‍ර. දහසක් රශ්මී ඇත්තා වන හිරු.

සහස්වත

වි. සදාකාලික ; නිත්‍ය ; ශාස්වත.

සහස්‍රාවර්ත

(පාරිභා.) නා.ප්‍ර. ගුවන් විදුලි තරංග මිනුම් ඒකකයක්.

සහස්‍රි

වි. දහසකින් යුක්ත ; දහසක් ඇති.

සහසා

නි. වහා ; ඉක්මන් ; හනික.

සහසාධක

(පාරිභා.) නා.ප්‍ර. සමග යෙදෙන සාධක.

සහසැස්

[සහස් + ඇස්]
නා.ප්‍ර. දහසක් ඇස් ඇත්තා වන ශක්‍රයා.

සහසි

වි. සැහැසි ; රෞද්‍ර; නපුරු.