සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1752

සහජ බුද්ධික රේඛාව

නා. මොළය ඉදිරිපස සිට පසුපස දක්වා යමින් එය සම කොටස් දෙකකට බෙදන නිම්නය.

සහජ ස්ථානය

නා. ජන්ම කේන්ද්‍රයෙහි තුන්වන ස්ථානය ; සහෝදර ස්ථානය.

සහජ සාධකය

නා. ජන්ම හේතුව.

සහජතර

වි. ඉබේ වැටහෙන නුවණින් යුතු ; උපන් දක්ෂතාවෙන් යුතු.

සහජත්වය

(පාරිභා.) නා. උත්පත්තියෙන් ම සිතෙහි පහළ වෙන අදහස් සම්බන්ධ ධර්මතාව.

සහජවාදය

(පාරිභා.) නා. සම්පූර්ණයෙන් ම වැඩුණු නොහොත් සම්පූර්ණවීමට තිබෙන යම් අත්දැකීමක් උපතේදී ම සිතෙහි ඇතැයි යන මතය.

සහජවාහක රූප

නා.ප්‍ර. මව්පිය පරපුරේ හැඩහුරුකම ගතිගුණ ආදිය නිර්මාණය කෙරෙන ශක්තිය ගැබ්කොට ඇති රූප කලාප.

සහජාත

1. වි. එක්වර උපන් ; එක්ව හටගත්.
2. ගුණයෙන් මව්පියන්ට සමාන.

සහජීවනය

1. නා. එකට ජීවත්වීම ; එක්ව වාසය.
2. (පාරිභා.) අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා ජීවියකු තුළ තවත් ජීවියකු ජීවත්වීමෙන් පවත්වනු ලබන හවුල් ජීවිතය.

සහජීවියා

නා. අන්‍යෝන්‍ය ප්‍රතිලාභය සඳහා එකට ජීවත් වන සත්ත්වයා.

සහතික

වි. සත්‍ය වූ ; අනුමත කරන ලද ; ස්ථිර කරන ලද.

සහතික පත්‍රය

නා. කිසියම් කරුණක් ගැන සහතික කිරීම ඇතුළත් පත්‍රිකාව ; විභාග, විවාහ හා මරණ ආදිය සනාථ කරමින් නිකුත් කරන ලියවිල්ල.

සහතික මිල

නා. යම්කිසි නිෂ්පාදනයක් සඳහා නියත වශයෙන් ගෙවීමට සම්මත අවම මිල.

සහතිකය

නා. කිසියම් කරුණක් ස්ථිර කිරීම සඳහා පවතින සාධකය.

සහන

1. වි. ඉවසන.
2. පහසුවක් ගෙන දෙන ; සැනසිල්ලක් ඇති කරන.
1. නා.ප්‍ර. ඉවසීම.
2. සැනසිල්ල ; පහසුව ; අස්වැසිල්ල.
3. එළිමහන.

සහන වැල්වය

(පාරිභා.) නා. යන්ත්‍රයක පීඩනය වැඩි වූ විටක ඒ ප්‍රමාණය අඩු කිරීම සඳහා සවිකොට ඇති උපකරණය.

සහනශීල

වි. ස්වභාවයෙන් ම ඉවසන ; ඉවසිලිවන්ත.

සහන් එළිය

නා. එළිමහන් තන්හි ඇති මඳ එළිය.

සහන්යාය

නා. එක දිගට ම එළිමහන පවතින සහන් බිම් පෙදෙස.

සහනාධාර

[සහන + ආධාර]
නා.ප්‍ර. සහනයක් වශයෙන් කරන ආධාර.

සහප්‍රතිබද්ධ

(පාරිභා.) වි. එකට බැඳීම සහිත වූ ; ප්‍රතිබද්ධය ඇති.

සහප්‍රවර්තනය

(පාරිභා.) නා. එක් ව පැවතීම ; සහජීවනය.

සහපිරිවර

වි. පිරිවර සමඟ ; පිරිස සහිත.

සහබද්ධ

(පාරිභා.) වි. එකට බැඳුණු ; ගැළපුණු.