සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1751

සසුරුවනවා

ක්‍රි. සුරැකිව තබනවා ; වසා දමනවා.

සහ

1. නා.ප්‍ර. හාවා ; සසයා.
2. මිතුරා ; මිත්‍රයා.
3. විපාකය ; ප්‍රතිවිපාකය.
4. උදවුව ; සහයෝගය.
5. බඩගින්න.
වි. සාහසික ; දරුණු.
නි. එක් ව ; සමඟ ; සහිත.

සහ ආධිපත්‍යය

නා. (පාරිභා.) හවුල් අයිතිය ; රාජ්‍යයක් පිළිබඳ ඇති වූ හවුල් ආධිපත්‍යය.

සහ ගහනවා

ක්‍රි. විපාක දෙනවා ; පල දෙනවා ; කරන ලද වරදක් සඳහා ස්වභාවයෙන් ම දඬුවම් ලැබෙනවා.

සහකර

වි. රශ්මි සහිත වූ.
නා.ප්‍ර. මී අඹ.

සහකරුවා

1. නා. උදවුකරුවා ; උපකාරකයා.
2. සැමියා.

සහක්‍රියාකාරකය

(පාරිභා.) නා. එක්තරා චලනයක් ඇති කිරීමට සහාය වන පේශියක්.

සහකාර

වි. එක් ව ක්‍රියා කරන ; සහාය වූ.

සහකාර අංකුරය

නා. දෙවනුව හටගත් පැළය ; උපශාකය.

සහකාර මුකුල

නා. දෙවැනි පොහොට්ටුව.

සහකාරයා

1. නා. එක් ව කටයුතු කරන්නා ; සහයෝගය දෙන්නා.
2. හවුල්කරුවා ; ස්වාමිපුරුෂයා.

සහකාරිය

1. නා. උපකාර කරන තැනැත්තිය.
2. භාර්යාව ; බිරින්දෑ.

සහකුලකය

(පාරිභා.) නා. අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇති සමූහය.

සහග

වි. වටිනා ; අගනා.

සහගත

1. වි. යුක්ත වූ ; සහිත.
2. එක් ව යන ; එකතු ව ගිය.

සහගින්න

නා. බඩගින්න ; ක්ෂුධාව.

සහගිය

වි. සමග ගමන් කරන්නාවූ ; එක් ව පවතින.

සහඞ්ගුර

වි. බිඳීම් සහිත ; බිඳෙන.

සහචර සෛලය

(පාරිභා.) නා. (උද්භි.) පෙනේර නළයකට යාව තිබෙන න්‍යෂ්ටියක් සහිත සෛලයක්.

සහචරණය

නා. සමඟ හැසිරීම ; එක් ව ගමන් කිරීම.

සහචරිත

වි. සමඟ හැසිරෙන ; එක් ව හැසිරෙන.

සහචාරය

නා. සමඟ පැවතීම ; එක් ව හැසිරීම.

සහචීර්ණ

වි. පුරුදු ඇති ; පුරුදුකම් ඇති.

සහජ

1. වි. උත්පත්තියෙන් ම උරුම වූ ; ජන්මයෙන් හටගත්.
2. සමඟ උපන් ; එක් ව උපන්.