සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1754

සහසුද්දෙන්

ක්‍රි.වි. සම්පූර්ණයෙන් ; කරුණු සහිත ව.

සහහොත්

(පාරිභා.) වි. බීජපත්‍රවල දාර බීජමූලය මත තිබෙන.

සහා

1. නා.ප්‍ර. උපකාර ; උදවු.
2. යහළුවා ; සහායකයා.

සහාධිපත්‍යය

1. නා. හවුල් අයිතිය ; හවුල් පරමාධිපත්‍යය.
2. මහල් නිවසක් ඇති එක් නිවාසයක අයිතිය.

සහානුභුතිය

නා. එකට එක් ව රසාස්වාදනය කිරීම ; සමාන අත්දැකීම.

සහාය

වි. මිත්‍ර ; සමඟ හැසිරෙන ; උපකාරි.
නා.ප්‍ර. උපකාරය ; උදවුව.

සහායක

වි. උපකාරක ; උපස්ථම්භක.

සහායක කෝණය

(පාරිභා.) නා. උපකෝණය ; අනුකෝණය.

සහායක දිවුම

(පාරිභා.) නා. ක්‍රීඩා තරඟවලදී කණ්ඩායම් වශයෙන් කඩින් කඩ දිවීම ; රිලේ ධාවනය.

සහායකයා

නා. උපස්තම්භකයා ; යහළුවා ; මිත්‍රයා.

සහෘදයා

නා. සමාන හදවතක් ඇත්තා ; සමාන වින්දනයක් ලබන්නා.

සහෝදරයා

1. නා. එක කුස උපන් තැනැත්තා ; අයියා හෝ මල්ලී.
2. වාමාංශිකයා.
3. හිතවතා ; මිත්‍රයා.

සළ

1. නා.ප්‍ර. ඊතලය ; සරය.
2. කයිරාටිකයා ; කපටියා.
3. හොරකම ; කපටිකම ; රැවටිල්ල.
4. ආවර්තය ; සුළිය.
වි. ශඨ ; කපට ; කෛරාටික.

සළායතනය

නා. චක්ෂුරාදි ආයතන සය ; ෂඩායතනය.

සළාව

1. නා. දිය සුළිය ; ආවර්තය.
2. සුළි සුළඟ.
3. සළුව ; සාටකය.

සළු

නා.ප්‍ර. සාටක ; වස්ත්‍ර.
1. වි. අත් හරින ලද ; අත් හළ ; ත්‍යාග කළ.
2. අගය ඇති ; වටිනාකම ඇති.

සළුපිළි

නා.ප්‍ර.බහු. රෙදිපිළි ; ඇඳුම්.

සළුවඩන නිලමේ

නා. මහනුවර රාජ සමයෙහි රජතුමාගේ ඇඳුම්-පැළඳුම් කටයුතු භාරව සිටි නිලධරයා.

ස්කන්ද

1. නා.ප්‍ර. තුවාලවලින් ලේ පිට වීම වැළැක්වීමේ ක්‍රමයක් වන ලේ දැඩි කිරීම.
2. හින්දුස්තානී සංගීතයෙහි කුල භේදයක්.
3. ගෘහයක අට වැදෑරුම් කෝණ දෝෂවලින් එකක්.
4. කතරගම දෙවිඳු ; ස්කන්ද කුමාරයා.

ස්කන්ධ අලය

නා. විශේෂ භූගත ශාඛාවක මහත් වූ කෙළවර.

ස්කන්ධ අවයව

නා.ප්‍ර. උද්භිදයක ස්කන්ධයේම වැඩීමක් ලෙස හටගන්නා ස්කන්ධ කණ්ටක ආදි වූ කොටස්.

ස්කන්ධ කණ්ටකය

නා. ශාකයක ස්කන්ධයේ ඌති හා සම්බන්ධ කටුව ; කඳ කටුව.

ස්කන්ධ ක්‍රමාංකය

නා. සමස්ථානිකයක පරමාණු භාරය ; පරමාණුවක න්‍යෂ්ටියක ඇති නියුක්ලියෝනිවල මුළු සංඛ්‍යාව.