සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1816

සිරිපද

නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදය ; සිරි පතුල.

සිරිපදලස

නා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රි පාදයේ සලකුණ ; ශ්‍රී පාද ලාඤ්ඡනය.

සිරිපා යුග

නා.ප්‍ර. උත්තමයන්ගේ පාද යුග්මය.

සිරිපිටිය

නා. සුන්දර පෙදෙස ; කෙළිබිම.

සිරිපින්

නා.ප්‍ර. ශ්‍රී සෞභාග්‍යය ; උතුම් පින.

සිරිපොද

නා.ප්‍ර. සිහින් (කුඩා) වැහි බින්දු.

සිරිබන්

වි. කුඩා කඩු පැලඳි ; කඩු පලඳවන ලද.

සිරිබඳනා මඟල්

නා.ප්‍ර. කඩු පලඳවන උත්සවය ; අභිෂේක මඞ්ගල්‍යය.

සිරිබර

වි. ශ්‍රීයෙන් බර වූ ; බොහෝ වූ සම්පත් ඇති.

සිරිබරිය

නා. ශ්‍රී ඇත්තිය ; ශ්‍රීමත් තැනැත්තිය.

සිරිමත්

1. වි. බොහෝ යස ශ්‍රී සම්පත් ඇති.
2. කාන්තිමත්.

සිරිමි

නා.ප්‍ර. හැසිරීම ; චරණය.

සිරියල්

නා.ප්‍ර. වර්ණ සෑදීමට ද ගැනෙන රත් පැහැ ගත් ඛනිජයක් ; හිඟල් ; සාදිලිංගම්.

සිරියහන් ගබ

නා. සිරි යහන ඇති කාමරය ; සිරි යහන් ගබඩාව ; සිරියහන් ගෙය.

සිරියාව

නා. ප්‍රසන්න බව ; රූපශ්‍රීය ; ශ්‍රියාව.

සිරියෝධ

නා.ප්‍ර. සිරියෙන් (කුඩා කඩුවෙන්) යුද්ධ කරන්නා.

සිරිවන්

වි. ශ්‍රීය වැදුණු ; ශ්‍රීයෙන් පිරි.

සිරිවන්නි

1. නා.ප්‍ර. සම්පත් ඇති වනවාසී ජනයා.
2. සොරා ; මං පහරන්නා.
3. වන්නි පෙදෙසේ එක් කොටසකට අයත් ජනයා ; කුඩා වන්නීහු.

සිරිවමිය

නා. ශ්‍රී කාන්තාව.

සිරිවස

1. නා. උඩැක්කිය නම් බෙර වර්ගය.
2. ස්වස්තික ලකුණ.
3. අලංකාර සැරසිල්ලක්.

සිරිවැඩුම්

නා.ප්‍ර. ආහාරපාන රසවත් කිරීමට යොදන ද්‍රව්‍ය.

සිරිසර

1. නා. ධනය, බලය, රූප ශෝභාව ආදිය ඇති බව.
2. දිව්‍යලෝක සම්පත්තිය.

සිරිසරණ

නා.ප්‍ර. ශ්‍රී පාදය ; බුදුන්ගේ හෝ දෙවියන්ගේ පාදය.

සිරිසැප

නා.ප්‍ර. උසස් සැප හා ධනය.