සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 189
අශේෂ
වි. ශේෂයක් නැති; ඉතිරියක් නැති; සියලු.
අශෛක්ෂයා
නා. අර්හත් ඵලයෙහි සිටි පුද්ගලයා; රහතන් වහන්සේ.
අශෝච්ය
වි. ශෝක නොකළ යුතු; දුක් නොවිය යුතු.
අශෝධිත
වි. ශුද්ධ නොකළ; පිරිසිදු නොකළ.
අශෝභන
වි. නොහොබනා; අමනෝඥ; නොබැබළෙන; අසෝභන.
අෂ්ට අක්ෂණ
නා. කුසල් කිරීමට නුසුදුසු වූ හෝ අනවකාශ වූ කාල අට; පින් කළ නොහැකි කාල අට.
අෂ්ට කර්මය
නා. වශීකර්ම, මෝහන, විද්වේෂණ, උච්චාටන, ආකර්ෂණ, භේදන, ස්ථම්භන හා මාරණ යන අෂ්ටවිධ මන්ත්ර ගුරුකම්.
අෂ්ට කෝණය
නා. කෝණ අටක් ද පාද අටක් ද සහිත බහු අශ්රය; අටපට්ටම; අෂ්ටාශ්රය.
අෂ්ට ගරුධර්ම
නා.බහු. (විනය.) භික්ෂුණීන් විසින් දිවි හිමියෙන් ගරු කොට විසිය යුතු ධර්ම අට; උපසපන් වීමෙන් සියක් වස් ඇති භික්ෂුණියක වුවත් එදවස් උපසපන් භික්ෂුවට ගරු බුහුමන් කිරීම, අඩ යොදුනක් තුළ භික්ෂූන් නැති ආවාසයක භික්ෂුණියක් වස් නොඑළඹීම, භික්ෂුණීන් විසින් අඩමසක් පාසා භික්ෂූන් වෙත එළඹ පොහෝ විචාරා අවවාද ලැබීම, වස් විසූ භික්ෂුණිය උභතෝ සංඝයා කෙරෙහි පවාරණය කිරීම, ගරුකාපත්තියට පැමිණි භික්ෂුණිය උභතෝ සංඝයා කෙරෙහි මානත හැසිරීම, දෙවසක් කරුණු සයෙක්හි හික්මුණු ශික්ෂමානාව උභතෝ සංඝයා කෙරෙහි උපසම්පදා වීම, භික්ෂුණියක විසින් කිසිම ක්රමයකින් භික්ෂුවට නින්දා පරිභව නොකිරීම, භික්ෂුණියක විසින් භික්ෂූන්ට අවවාද නොකිරීම යන කරුණු අට.
අෂ්ට දුෂ්ටක්ෂණ
නා.බහු. කුසල් කිරීමට නුසුදුසු වූ හෝ අනවකාශ වූ කාල අට; පින් කළ නොහැකි කාල අට.
අෂ්ට ධර්ම
නා. බුදුබව පතන බෝධිසත්ත්වවරයකු වෙත පිහිටිය යුතු ධර්ම අට. - මිනිසත්බව, පිරිමිබව, ඒ ජාතියෙහි ම රහත් වන්නට නිසි කුසල් ඇතිබව, බුදුන් දැකීම, පැවිදිවීම, ධ්යානාභිඥාදි ගුණ සම්පත්තිය, බුදුන්ට පිදූ දිවි ඇතිබව හා බුද්ධත්වය පිළිබඳ අදහස.
අෂ්ටක
නා.ප්ර. ස්තෝත්ර වශයෙන් හඬනඟා කීම පිණිස ශ්ලෝක ගාථාදි පද්ය අටකින් රචනා කළ නිබන්ධය.
අෂ්ටක කියනවා
ක්රි. මඞ්ගල උත්සවයන්හි දී මනාල යුවළ පෝරුවට නැංවීමෙන් පසු ඔවුනට ආරක්ෂාව පතා එ සඳහා නිබන්ධිත ස්තෝත්ර හඬ නගා කියනවා.
අෂ්ටකර්ණ
නා.ප්ර. කන් අටක් ඇත්තා හෙවත් මහා බ්රහ්මයා.
අෂ්ටතල
වි. අෂ්ටාංශ ඝනයක හැඩය ඇති; අෂ්ටාංශ ඝනයට අයත්.
(පාරිභා.) නා.ප්ර. අෂ්ටාංශ ඝනය; පැතලි තල අටකින් වට වූ වස්තුව.
අෂ්ටත්රිංශත්
නා.ප්ර. අටතිස; තිස්අට.
අෂ්ටදෝෂ
නා. අෂ්ට නිෂද්ය දෝෂ; උත්තමයන් සමීපයෙහි හිඳ කථා කරන්නකු විසින් දුරු කළ යුතු සේ දැක්වෙන දෝෂ අට.
අෂ්ටනාරි රථය
නා. කාන්තා රූ අටකින් සෑදුණු රථයක් නිරූපණය වන සිංහල සැරසිලි මෝස්තරයක්.
අෂ්ටපර්ෂද්
නා.ප්ර. පිරිස් අට; බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසීමට රැස් වන අට වැදෑරුම් වූ දෙව්-මිනිස් පිරිස.
අෂ්ටපරිෂ්කාර
නා.බහු. අටපිරිකර.
අෂ්ටම
වි. අටවැනි.
අෂ්ටමාධිපතියා
නා. ජන්ම කේන්ද්රයක ලග්නයෙහි අටවැනි රාශිය හිමි ග්රහයා; අටවැන්න අධිපතියා.
අෂ්ටමිය
නා. පුර පසළොස්වක් නොහොත් අමාවක් දිනයෙන් අටවන දිනය; අටවක් දිනය.
අෂ්ටයෝනි
නා.ප්ර. ශුද්ධ සිංහල හෝඩියේ වර්ණ බෙදනු ලබන වර්ග අට.