සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 22

අග්‍ර දර්ශනය

නා. උත්තම දෘෂ්ටිය; ශ්‍රේෂ්ඨ දර්ශනය.

අග්‍ර දානය

1. නා. බුද්ධත්වයට පැමිණීමෙන් පසු බුදුවරයකු ලබන පළමු දානය.
2. නා. අස්වැන්නේ පළමු කොටසින් දෙන ප්‍රථම දානය; නොඉඳුල් දානය.

අග්‍ර දූතයා

1. නා. මුලින් ම දූත මෙහෙවරෙහි යෙදෙන්නා; ශ්‍රේෂ්ඨ දූතයා.
2. නා. (ක්‍රිස්ති.) උසස් ගණයට අයත් වන දේව දූතයා.

අග්‍ර දේවී

නා. රජකුගේ අගමෙහෙසිය; අභිෂේක ලද බිසව.

අග්‍ර ප්‍රාප්තයා

නා. අගතැන්පත් තැනැත්තා; ප්‍රධාන තැනට පත් තැනැත්තා.

අග්‍ර පුරෝහිතයා

නා. (රජ කෙනෙකුගේ) ප්‍රධාන පුරෝහිතයා; ප්‍රධාන උපදේශකයා; අග පෙරෙවියා.

අග්‍ර ඵලය

1. නා. අ. යම් කාර්යයකින් ලැබෙන උපරිම තත්ත්වය; යම් දෙයක ඉහළ ම ප්‍රතිලාභය.
2. නා.උතුම් වූ ඵලය; මාර්ගඵල අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ ඵලය; අර්හත් ඵලය.

අග්‍ර බාහුව

නා. අතේ වැළමිට සිට මැණික් කටුව දක්වා ඇති කොටස; අත් දණ්ඩෙහි පහළ කොටස.

අග්‍ර භාගය

1. නා. අග කොටස; අවසන් කොටස.
2. නා. මුල් කොටස; ප්‍රධාන කොටස.

අග්‍ර භෝජනය

1. නා. පළමුවෙන් පිළියෙල කළ බොජුන්; නොඉඳුල් ආහාරය.
2. නා. අලුත් අස්වැන්නෙන් මුලින් ම පිරිනමන දානය.

අග්‍ර මාණික්‍යය

නා. උතුම් මැණික; අගමිණ.

අග්‍ර මාර්ගය

1. නා. ශ්‍රේෂ්ඨ මාර්ගය; රහත්මඟ.
2. නා. ආර්ය අෂ්ටාංගික මාර්ගය.

අග්‍ර මාර්ගාධිගමය

නා. අර්හත් මාර්ගයට පැමිණීම; රහත් වීම.

අග්‍ර රන්ධ්‍රය

නා. ඇත් සොඬ අග; ඇත් සොඬෙහි කෙළවර.

අග්‍ර රසය

නා. මිහිරි රසය; ප්‍රණීත බව.

අග්‍ර රාජධානිය

නා. අගනුවර; ප්‍රධාන නගරය.

අග්‍ර රාජ්‍යය

නා. මහා රාජ්‍යය; අධිරාජ්‍යය; ප්‍රධාන රාජ්‍යය.

අග්‍ර විනිශ්චයකාරයා

නා. අධිකරණයෙහි නායක; විනිශ්චයකාරයා; ශ්‍රේෂ්ඨාධිකරණයේ නායකයා.

අග්‍ර ශස්‍යය

නා. මුල් අස්වැන්න; ගොවිතැනින් ලබාගන්නා පළමු පලදාව; අගසස්.

අග්‍ර ශ්‍රාවකයා

නා. බුදුවරයෙකුගේ අගසවු තනතුර දරන්නා; බුදුවරයෙකුගේ ප්‍රධාන ශ්‍රාවකයා; අගසව්වා.

අග්‍ර ශ්‍රාවිකාව

නා. බුද්ධ ශ්‍රාවිකාවන් අතර ප්‍රධාන තැනැත්තිය; ජ්‍යෙෂ්ඨ ශ්‍රාවිකාව.

අග්‍ර ස්ථානය

නා. මුල්තැන; ප්‍රධාන තැන; නායක ධුරය.

අග්‍ර ස්ථානාන්තරය

නා. උතුම් පදවිය; ශ්‍රේෂ්ඨ ධුරය; අග තනතුර.

අග්‍ර සූත්‍රිකාව

(පාරිභා.) නා. ඇතැම් පෘෂ්ඨවංශීන්ගේ සුෂුම්නාවේ පශ්චාත් කෙළවර දික්වීමෙන් සෑදෙන සිහින් ස්නායු කෙන්ද (=filum terminale).