සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 21

අග්නි ස්ථානය

(ජ්‍යෝති.) නා. ගින්නට හිමි වූ රාශිය; කුජ ග්‍රහයා අධිපති රාශිය.

අග්නි ස්ඵූරණ

(පාරිභා.) වි. වාතය හා ගැටුණු විට වහා ගිනි ගන්නා සුලු (= pyrophoric).

අග්නි හේළිමානය

(පාරිභා.) නා. පෘථිවියට ලැබෙන සෘජු සූර්ය විකිරණයේ තීව්‍රතාව මනින උපකරණය (=pyrheliometer).

අග්නි හෝත්‍රය

නා. ගින්නට කිරි ගිතෙල් වෙඬරු දමා ගිනි දෙවියා පිදීමේ හින්දු චාරිත්‍රය; ගිනි පූජාව.

අග්නිකර

වි. කුසගින්න ඇති කරන; බඩගිනි වඩන.

අග්නිජ

වි. ගින්නෙන් හටගත්; ගින්නෙන් උපන්.

අග්නිද්‍රව්‍ය

(පාරිභා.) නා. ලෝහයකින් අළු ලබා ගැනීමත් අළුවලින් ලෝහය ලබා ගැනීමත් යන කරුණු දෙකට පොදු වූ දෙය.

අග්නිධරා

නා. සිරුරෙහි ගින්න දරා සිටින සියුම් සිවිය; පිත්තධරා කලාව.

අග්නිභ

නා.ප්‍ර. ගිනි පැහැගත් ලෝහය; රත්රන්; ස්වර්ණ

අග්නිමන්ත්‍රය

නා. ගිනිදෙව් පූජාවේ දී ගයන මන්ත්‍රය.

අග්නිමන්දය

නා. බඩගිනි අඩුකම; කෑම නොදිරවීමෙන් ඇති වන ආබාධය; මන්දාග්නිය.

අග්නිමය

වි. ගින්නෙන් සෑදුණු.

අග්නිමිතික

වි. ගිනි රස්න මාපකය පිළිබඳ වූ; අග්නි මානය සම්බන්ධ.

අග්නිය

1. නා. ගින්න; ගින්දර.
2. නා. ආහාර දිරවීමෙන් පසු කුසෙහි ඇතිවන ගින්න; බඩගින්න.
3. නා. ගිනිදෙචියා.

අග්නිවාර

නා.ප්‍ර. ගින්නෙන් රත් කිරීම; ගිනියම් කිරීම.

අග්නිසාහි

වි. ගිනි නොගන්නා; ගින්නට ඔරොත්තු දෙන.

අග්නීෂ්ටකාව

නා. ගිනි ගඩොළ.

අග්‍ර

1. වි. උතුම්; උසස්; ශ්‍රේෂ්ඨ.
2. වි. නායක; ප්‍රධාන.
3. වි. මුලින් උපන්; වැඩිමල්; දෙටු.
4. වි. කෙළවර පිහිටි.

අග්‍ර කාය

නා.ප්‍ර. සිරුරෙහි ඉහළ කොටස; උඩුකය; ඌර්ධ්වකාය.

අග්‍ර කුලය

නා. උතුම් කුලය; උසස් වංශය.

අග්‍ර කේතුකය

(පාරිභා.) නා. පෘෂ්ඨ වංශීන්ගේ සුෂුම්නාවේ කේතුකාකාර කෙළවර (=conus terminalis).

අග්‍ර කෝටිය

1. නා. අග කෙළවර; අන්තිම කොන.
2. නා. ඉළ ඇටවල තරුණාස්ථි පපු ඇටය හා සන්ධි වූ තැන.

අග්‍ර දක්ෂිණාව

නා. උතුම් දානය; ඉඳුල් නොකොට ඉතා පිරිසිදු ව සකස් කළ උතුම් දානය.