සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 220

ආනමේස්තරය

(කථා.) නා. ගෙයක ඉදිරිපස හෝ පිටුපස හෝ පිහිටා තිබෙන ආලින්දය.

ආනයනය

නා. ගෙන ඒ ම; පැමිණවීම; ආවහනය; භාණ්ඩ ආදිය පිටරටින් ගෙන්වීම.

ආනර්තිත

වි. සෙලවුණු; ලෙළ දුන්.

ආන්තර

1. වි. ඇතුළත වූ; අභ්‍යන්තර.
2. වි. මානසික.

ආන්තර ස්කන්ධය

නා. ප්‍රාක්ප්ලාස්මය මැද පිහිටි ඝන මදය; න්‍යෂ්ටිය.

ආන්තරාව

නා. අනතුර; උවදුර; ආපදාව; විපත්තිය.

ආන්තරික

වි. ඇතුළත වූ; අභ්‍යන්තර.

ආන්තරිකය

නා. උකුල් ඇටයෙහි ඉහළින් පිහිටි පුළුල් වූ කර්ණාකාර කොටස; ජඝ්නඵලක අස්ථිය.

ආන්ත්‍රික

[අන්ත්‍ර + ඉක]
(පාරිභා.) වි. අන්ත්‍ර හෙවත් බඩවැල පිළිබඳ; අතුණු හා සම්බන්ධ (=intestinal).

ආන්ත්‍රික ග්‍රන්ථිය

(පාරිභා.) නා. මහාන්ත්‍රයේ හා ක්ෂුද්‍රාන්ත්‍රයේ ශ්ලේෂ්මල පටලයෙහි පිහිටා ඇති නාලාකාර අවයව විශේෂය (=intestinal gland).

ආන්ත්‍රික ජීර්ණය

(පාරිභා.) නා. බඩවැලේ දී සිදු වන ආහාර දිරවීම.

ආන්ත්‍රිකය

නා. බඩවැල; අතුණ; අන්ත්‍රය.

ආන්තික

වි. කෙළවරෙහි වූ; සීමාන්තයෙහි ඇති; යන්තම් වැඩි වශයෙන් ඇති.

ආන්දෝලනය

1. නා. පැද්දීම; එහා මෙහා සෙලවීම.
2. නා. කම්පනය; කැලඹීම.

ආන්නැය

නා. අණ; ආඥාව.

ආන්බාන් කරනවා

(කථා.) ක්‍රි. කීකරු කරනවා; හික්මවනවා; මෙල්ල කරනවා.

ආන්සාම

නා. ඔරුවක රුවල එසවීම සඳහා යොදන කඹය.

ආනාදි

1. වි. ආදියක් හෙවත් පටන් ගැන්මක් නැති; සනාතන.
2. වි. පරම්පරා ගණනාවක සිට පැවත එන; නම් දරාපු; තහවුරු වුණු.

ආනාදියා

(කථා.) නා. තක්කඩියා; නම් දරාපු හොරා; දක්ෂ හොරා.

ආනාපානය

නා. හුස්ම ඉහළ ගැනීම සහ පහළ හෙළීම; ආශ්වාසය හා ප්‍රශ්වාසය.

ආනාපානසති භාවනාව

නා. (අභි.) ආශ්වාස ප්‍රශ්වාසයෙහි සිහිය පිහිටුවා කරන සිත වැඩීම හෙවත් භාවනාව.

ආනාහය

1. නා. මූත්‍ර බද්ධය; මල බද්ධය.
2. නා. බඩ පිපුම; බඩ පුරවා දැමීම.

ආනෑ

නා.ප්‍ර. අණ; ආඥාව.

ආනිබානි

නා.ප්‍ර. නිදිමත, මැළිකම, අප්‍රාණික බව හේතු කොට ගෙන ඈනවිලි ඇරීම ආදියෙන් යුත් ස්වභාවය; ඈනුම.