සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 219

ආධාරය

1. නා. යමක් උසුලා හෝ දරා සිටින දෙය.
2. නා. උපකාරය; සහාය; අනුග්‍රහය; පිහිට.
3. නා. යමක් වෙනුවෙන් කරන මූල්‍ය හෝ වෙනත් පරිත්‍යාගය.
4. (ව්‍යාක.) නා. ආධාර විභක්තිය.

ආධික්‍යය

නා. බහුලත්වය; අධිකකම.

ආධිපත්‍ය දණ්ඩය

නා. අධිපති බවේ සංකේතය වශයෙන් භාවිත කරන යෂ්ටිය; සෙංකෝලය.

ආධිපත්‍යය

නා. අධිපති බව; ස්වාමිත්වය; ප්‍රභූත්වය; බලය.

ආධුත

වි. සොලවන ලද; චාලිත.

ආධුනික

වි. අලුත්; නවක; පුහුණු වන; ආරම්භක.

ආධුනිකයා

නා. ආරම්භ කරන්නා; නවකයා; ඉගෙන ගන්නා.

ආන

1. නා.ප්‍ර. හුස්ම ඉහළට ගැනීම; ආශ්වාසය.
2. නා.ප්‍ර. නිජ භූමිය; උත්පත්ති ස්ථානය.
3. නා.ප්‍ර. වනය.
4. නා.ප්‍ර. පැදුරු, මලු ආදිය එල්ලා තබන ආධාරකය.

ආනක

නා.ප්‍ර. විශාල යුද බෙර විශේෂයක්.

ආනත

වි. නැමුණු; නැඹුරු වූ; ඇල වූ; බෑවුම් සහිත වූ.

ආනත තලය

(පාරිභා.) නා. බෑවුම් තලය; පසෙකට ඇල වූ සමතලය (=inclined plane).

ආනත දර්පණය

(පාරිභා.) නා. ඇල වූ කැඩපත (=inclined mirror).

ආනතිමානය

(පාරිභා.) නා. බෑවුම් මැනීමේ උපකරණය (=clinometer).

ආනතිය

(පාරිභා.) නා. ඇලවීම; බෑවුම; ප්‍රවණතාව; නැඹුරුතාව (=inclination).

ආනනය

1. නා. මුඛය.
2. නා. මුහුණ; වක්ත්‍රය.
3. නා. කටකලියාව; මුව රජ්ජුව.

ආනනවා

1. ක්‍රි. ඈනුම් අරිනවා.
2. ක්‍රි. හති දමනවා; අමාරුවෙන් ආශ්වාස ප්‍රශ්වාස කරනවා.

ආනන්තර්යය

නා. අනන්තර භාවය; ඉක්බිතිව ම සිදු වන බව.

ආනන්තරික

වි. අනතුරු හෙවත් ඊළඟ ආත්මභවයෙහි විපාක දෙන.

ආනන්ත්‍ය

වි. සීමාරහිත; අසීමිත; අන්ත රහිත.

ආනන්ද

නා.ප්‍ර. සතුට; සන්තෝෂය; ප්‍රීතිය; ප්‍රමෝදය; ආහ්ලාදය.

ආනන්දිත

වි. ආනන්දයට පත්; ප්‍රීති වූ; සතුටට පත්.

ආනබාල්කය

(කථා.) නා. කුරුපාව.

ආනමනය

නා. නැමීම; ඇලවීම.

ආනමානය

1. නා. උපාය; උපක්‍රමය; ප්‍රයෝගය.
2. නා. විදීමේ, වෙඩි තැබීමේ ඉලක්කය හෙවත් කුරුමානම.