සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 221

ආනිසංස ඵලය

නා. කුශල කර්ම ආදියෙහි ඉෂ්ට විපාකය හෙවත් යහපත් ඵලය.

ආනිසංසය

1. නා. යහපත් ප්‍රතිඵලය; කුශල විපාකය.
2. (කථා.) නා. අයහපත් ප්‍රතිඵලය.

ආනිසදය

නා. නිසදනය හෙවත් හිඳීම සඳහා ගැනෙන පෙදෙස; තට්ටම.

ආනීත

වි. ගෙනෙන ලද; පමුණුවන ලද.

ආනීයමාන

වි. ගෙනෙනු ලබන; පමුණුවනු ලබන.

ආනුකුල්‍යය

නා. අනුකූල බව.

ආනුභාව

නා.ප්‍ර. ආධිපත්‍යය නිසා නිරායාසයෙන් ම ඇති වන බල මහිමය; තේජස.

ආනුභාව සම්පන්න

වි. තෙද බලයෙන් යුත්; බල මහිමයෙන් යුක්ත; ඍද්ධි බලය ඇති.

ආනුමානික

වි. ලැබී ඇති කරුණු හෙවත් හේතු අනු ව නිශ්චය කරගත්; අනුමානයෙන් තීරණය කරගත්; යුක්තියෙන් සිද්ධ වූ.

ආනුමානික ප්‍රසාදස්තානය

නා. (ක්‍රිස්ති.) පළමු බව්තිස්මය ගැන සැකයක් ඇති වූ විට කරන දෙවැනි බව්තිස්මය හෙවත් අවගාහනය (=conditional baptism ).

ආනුලෝමික

වි. මුල පටන් අග දක්වා පිළිවෙළ අනුව ඇති; අනුකූල; අනුගත.

ආනුෂංගික

1. වි. කිට්ටුවෙන් ආශ්‍රිත වූ හෙවත් සම්බන්ධ වූ; එක් ව යන නමුදු වෙනස් වූ.
2. (යමක්) වි. අනුසාරයෙන් පැමිණෙන.

ආනූප

වි. දියට ආසන්නව පැවති; ජල බහුල වූ; තෙතමනය ඇති.
නා.ප්‍ර. දිය හා ගල් බහුල භූමිය; ගල් සහිත වගුරු බිම.

ආනූපයා

නා. ජල බහුල බිමෙහි හෝ වගුරු බිමෙහි හෝ හැසිරෙන මත්ස්‍ය, ඌරු, මී, ගව ආදි සත්ත්වයන්.

ආනෘශංසය

නා. කුසල විපාකය; ආනිසංසය.

ආනෙඤ්ජ

වි. නොසැලෙන; කම්පිත නොවන; ස්ථිර.

ආඳනවා

1. ක්‍රි. යම් දෑ එකිනෙකට සම්බන්ධ කරනවා; හරක් ආදි සතුන් දෙදෙනකු හෝ ඊට වැඩි දෙනකු එකිනෙකාට සම්බන්ධ කර බඳිනවා; ගලතනවා.
2. (කථා.) ක්‍රි. රා මීරා මැදීම පිණිස පොල් ගස්වල කරටි කඹවලින් එකිනෙකට සම්බන්ධ කරනවා; අතුරු බඳිනවා.

ආඳා

නා. ලිස්සන සුලු දිගටි මිරිදිය මත්ස්‍ය විශේෂයක්.

ආපගා

නා.ප්‍ර. ගඟ; නදිය.

ආපණ ශාලාව

1. නා. වෙළඳසල; සල්පිල.
2. නා. භෝජන ශාලාව.

ආපණිකයා

නා. වෙළෙන්දා; ව්‍යාපාරිකයා.

ආපතනය

(පාරිභා.) නා. අභිමුඛ වීම (=incidence).

ආපත්තිය

1. නා. පැමිණීම; ප්‍රාප්තිය.
2. නා. ආපදාව; විපත.
3. නා. නියමිත ශික්ෂා පදයක් හෝ වතක් හෝ උපසම්පන්න භික්ෂු භික්ෂුණී කෙනකු විසින් ඉක්මවීමෙන් සිදු වන වරද.
4. නා. එසේ වරදට පැමිණීම.

ආපදා රථය

(පාරිභා.) නා. රථයක් ක්‍රියා විරහිත වූ විට එය ඇදගෙන යෑම සඳහා යොදන විශේෂ රථය (=breakdown van).