සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 239

ඇඟර

නා.ප්‍ර. සිරුරෙහි ගල්වන සුවඳ විලවුන්; ශරීරාලේප; අංගරාග.

ඇඟලුණු

නා.ප්‍ර. සිරුරින් මතු වන ලවණ.

ඇඟලුම්

නා.ප්‍ර. ඇඟෙහි ලන දේ; ඇඳුම්; වස්ත්‍ර; රෙදිපිළි.

ඇඟෑලිකම

නා. ඇලුම් කරන බව; බැඳුණු සිත් ඇති බව; හිතවත්කම.

ඇඟි

නා.ප්‍ර. අදහස්; හැඟීම්; අභිප්‍රාය; සිතැඟි.

ඇඟිල්ලේ නටවනවා

(කථා.) ක්‍රි. තම සිතැඟි පරිදි අනිකකූ මෙහෙයවනවා; වසඟයට ගන්නවා.

ඇඟිලි කරුව

නා. අතේ හෝ පයේ හෝ ඇඟිලි දෙකක් බෙදෙන තැන.

ඇඟිලි ගනිනවා

ක්‍රි. යම් බලාපොරොත්තුවක් ඉටු වන තෙක් නො ඉවසිල්ලෙන් සිටිනවා.

ඇඟිලි ගහනවා

ක්‍රි. (අනුන්ගේ කටයුතුවලට) නුවුවමනා සේ ඉදිරිපත් වෙනවා; තමන්ට අයිතියක් නැති කටයුතු හාරා හොයනවා.

ඇඟිලි පුඩුව

නා. ඇඟිල්ලේ වටකුරු ව පිහිටි අග කොටස; ඇඟිලි තුඩ.

ඇඟිලි පුරුක

නා. ඇඟිල්ලෙහි එක් එක් සන්ධියකින් සීමා වූ කොටස; ඇඟිලි පර්වය.

ඇඟිලි පොළනවා

ක්‍රි. අසුරු ගසනවා.

ඇඟිලි සටහන

(පාරිභා.) නා. ඇඟිලි පුඩුවේ පැතිරී ඇති උන්නත සියුම් රේඛා සමූහයේ සටහන (=finger print).

ඇජර

1. නා.ප්‍ර. ආචාර්යවරයා; ගුරුවරයා; උපදේශකයා; අනුශාසකයා.
2. නා.ප්‍ර. හැසිරීම; ආචාරය.

ඇජරතෙර

නා. ආචාර්ය ස්ථවිර; ගුරුහිමි.

ඇට ඇඳිරිය

(කථා.) නා. ඝන අන්ධකාරය; තිත්ත කළුවර.

ඇට කූඩුව

(කථා.) නා. ඇටසැකිල්ල; අස්ථි පංජරය.

ඇට ගැහෙනවා

ක්‍රි. කෘශ වෙනවා; කෙට්ටු වෙනවා.

ඇට පට

නා. මුතු, පබළු ආදිය අමුණා සාදන ලද මාලය; ඇටවැල.

ඇට පියල්ල

(පාරිභා.) නා. බීජ පත්‍රය; ඇටයේ පළුව (=cotyledon).

ඇට බෝලය

නා. පිඟන් මැටි, වීදුරු ආදියෙන් සාදන ලද කුඩා බෝලය; ටීක් බෝලය.

ඇට සන්ධිය

නා. ශරීරයේ ඇට එකිනෙක සම්බන්ධ වන ස්ථානය.

ඇට-ඇටි පස් වර්ගය

නා. තොවිල්වලදී භූතයන්ට දොළ දීමට ගන්නා උඳු, මුං, තල, මෑ, වී යන ධාන්‍ය පස් වර්ගය.

ඇටපෝර

නා.ප්‍ර. සත්ත්ව ඇට කටුවලින් පිළියෙල කරගන්නා පෝර; කටුපෝර (=bone manure).

ඇටමිදුලු

නා.ප්‍ර. අස්ථි කුහරවල තිබෙන මොළොක් වූ මේද වැනි ද්‍රව්‍යය.