සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 242

ඇතිසැටිය

නා. යථා තත්ත්වය හෝ ස්වභාවය; නියම ආකාරය.

ඇතිළිය

නා. මාළුපිණි පිසීම සඳහා ගන්නා වටකුරු නොගැඹුරු කට පළල් මැටි හෝ ලෝහමය භාජනය; අප්පල්ලය; හට්ටිය.

ඇතුල්පළයා

(කථා.) නා. සී සෑමේ දී හී විටෙන් සෑදෙන වෘත්තාකාර මාර්ගයෙහි ඇතුළු පැත්තෙන් ගමන් කරන ගොනා.

ඇතුළ

නා. යමක මධ්‍යගත ප්‍රදේශය; අභ්‍යන්තරය.

ඇතුළත්

වි. අඩංගු; අන්තර්ගත.

ඇතුළු

1. වි. අභ්‍යන්තර; මධ්‍යගත.
2. වි. අඩංගු; ඇතුළත්.

ඇතුළු වීථිය

නා. නගරයක් ඇතුළත තිබෙන වීදිය; නගරයෙහි රාජ මන්දිරය තෙක් වැටෙන මාර්ගය; රාජ වීථිය.

ඇතුළු වෘත්තය

(පාරිභා.) නා. ත්‍රිකෝණයක ඇතුළත එහි භුජවලට ස්පර්ශ වන සේ අඳිනු ලබන වෘත්තය; අන්තර් වෘත්තය (= in circle).

ඇතුළු වෙනවා

1. ක්‍රි. අඩංගු වෙනවා; අන්තර්ගත වෙනවා; ඇතුළත් වෙනවා.
2. ක්‍රි. ඇතුළට යනවා; ප්‍රවිෂ්ට වෙනවා.

ඇතුළු වෙහෙර

නා. විහාරස්ථානයක ප්‍රාකාරය ඇතුළත පිහිටි ප්‍රදේශය; ප්‍රධාන ගොඩනැගිලි පිහිටි විහාර භූමිය.

ඇතුළුගම

නා. ග්‍රාමයක ගෘහයන් ඇති ප්‍රදේශය; ප්‍රාකාර ආදියෙන් වට කළ ගම ඇතුළත.

ඇතුළුසිවිය

1. (පාරිභා.) නා. පරාග කණිකාවක අභ්‍යන්තර ආවරණය (=intine).
2. (පාරිභා.) නා. බීජාණුවක ඇතුළු ස්තරය (=endospore).

ඇතොර

නා. ඇතවුර.

ඇද කුද

1. නා.බහු. කඩතොලු සහිත බව.
2. නා.බහු. ඌනතා; වැරදි; අඩුපාඩු.
3. නා.බහු. නැමුණු හා වක් වූ තැන්.

ඇද දමනවා

1. ක්‍රි. ගෙන ගොස් හෙළනවා; බලහත්කාරයෙන් ඉවත් කරනවා.
2. ක්‍රි. (පහත් තත්ත්වයකට) පත් කරනවා; වට්ටනවා.

ඇද පළුදු

නා.බහු. ඌනතා; අඩුපාඩු; දෝෂ.

ඇදබානවා

1. ක්‍රි. කෑදරකමින් යුතු ව අධික වශයෙන් ආහාර අනුභව කරනවා; බඩ කට පුරා කනවා.
2. ක්‍රි. දොඩමළු වශයෙන් කියනවා; වගකීමකින් තොර ව කියනවා.
3. ක්‍රි. තදින් පහර දෙනවා.

ඇදය

1. නා. ඇද බව; වක්‍ර භාවය; නැම්ම.
2. නා. වරද; දෝෂය; අඩුපාඩුව.
3. නා. ‘ඇ' ස්වර ලක්ෂණය දැක්වීම පිණිස ව්‍යංජනාක්ෂරයකට යොදන ලකුණ (ැ); ඇක්ම.

ඇදවැටෙනවා

1. ක්‍රි. බිම පතිත වෙනවා; පහතට වැටෙනවා.
2. ක්‍රි. පරිහානියට පත් වෙනවා.

ඇදහිල්ල

නා. ඇදහීම; විශ්වාසය; භක්තිය.

ඇද්දුම්හීය

(කථා.) නා. වැපිරීමට පෙර හාන අවසාන හෙවත් තුන්වන හීය; මඩ හීය.

ඇදිලි

නා.ප්‍ර. ඇඟිලි එක් කොට බොකු ගැසූ දෝත; අභිවාදනය හෙවත් වැඳීම පිණිස ඇඟිලි එක් කොට නළලට ඔසවා ගත් දෝත.

ඇදිලි බඳිනවා

ක්‍රි. දෑත් එක්කොට නළලත තබා වඳිනවා; නමස්කාර කරනවා.

ඇදුම් කනවා

(කථා.) ක්‍රි. ඇදෙන්නාක් මෙන් වේදනාව දැනෙනවා; දැඩි ලෙස රිදෙනවා.