සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 241

ඇත් ගමන

නා. ඇතකුගේ ගමන; ඇතකුගේ ගමන් ලීලාව පිළිබිඹු කරන උදාර ගමන් විලාසය.

ඇත් ගොවුවා

නා. ඇතුන් රැක බලා ගන්නා; ඇතුන් බලන්නා; ඇතරුවා.

ඇත් පණික්කියා

නා. ඇත් ගොවුවා; ඇතුන් බලන්නා.

ඇත් පවුර

1. නා. ඇතුන්ගෙන් සෑදුණු පවුර; පවුරක් සේ සිට ගත් ඇත් පෙළ.
2. නා. ඇත්රූවලින් අලංකෘත වූ පවුර; හස්ති ප්‍රාකාරය.

ඇත් පිය

නා. ඇතාගේ අඩිය; ඇත් පාද සලකුණ.

ඇත් පොරය

1. නා. ඇතුන්ගේ පොරය; ඇතුන් දෙදෙනකු අතර කෙරෙන සටන.
2. නා. ඇත් පොරයක් නිරූපිත මෝස්තර.

ඇත් පොවුවා

නා. ඇත් පැටවා.

ඇත් බන්දනේ

නා. (මහනුවර රජ සමයේ) ඇතුන් ඇල්ලීම, හික්මවීම, රැක බලා ගැනීම ආදි ඇතුන් පිළිබඳ රාජකාරි ඉටු කළ පාලන අංශය.

ඇත් බඳ

නා. ඇතාගේ ශරීරය විශේෂයෙන් පා, හිස සහ වලිගය හැර අවශේෂ ශරීරය; ඇත්කඳ.

ඇත් මුළ

නා. ඇත් සමූහය; ඇත් රැළ; අලි රංචුව.

ඇත් යහන

නා. ගමන් යෑමට යොදා ගනු ලබන ඇතා; පිට උඩ නැඟ යනු පිණිස යොදා ගන්නා ඇතා; හස්ති යානය.

ඇත් රුවන

නා. මංගල ලක්ෂණයෙන් යුත් ශ්‍රේෂ්ඨ හස්තියා; උතුම් ඇතා.

ඇත් සරඹ

නා. ඇතුන්ගේ ව්‍යායාම හෙවත් අභ්‍යාස; ඇතුන් හා සම්බන්ධ යුද සරඹ.

ඇත්ත

නා. පවතින ස්වභාවය; යථා තත්ත්වය; සැබෑව; සත්‍යය.

ඇත්දත්

නා.ප්‍ර. ඇතුන්ගේ දළය; හස්ති දන්තය.

ඇත්මද

නා.ප්‍ර. මතැතුන්ගේ කපෝල යුග්මයෙන් ද කෝෂයෙන් ද වෑහෙන ද්‍රවය; හස්ති මදය.

ඇත්රිපු

නා.ප්‍ර. ඇතාගේ සතුරා; සිංහයා.

ඇත්වරණ

1. නා. අංකුශය; හෙණ්ඩුව.
2. නා. උතුම් ඇතා.

ඇත්හල

නා. හස්ති ශාලාව; ඇතුන් සඳහා වෙන් කරන ලද ශාලාව.

ඇතැම්

වි. සමහර; එක්තරා.

ඇති කරනවා

ක්‍රි. හදනවා; උපදවනවා; ඇති දැඩි කරනවා.

ඇති වෙනවා

1. ක්‍රි. පැවැත්ම ආරම්භ වෙනවා; හට ගන්නවා; ඉපදෙනවා; ඇති දැඩි වෙනවා; ඵල සහිත වෙනවා.
2. ‍ක්‍රි. තෘප්ත වෙනවා; සෑහීමකට පත් වෙනවා; එපා වෙනවා.

ඇතිනිය

නා. ඇත් ධේනුව; හස්තිනිය.

ඇතිරිලිය

නා. අතුරන වස්ත්‍රය; ඇතිරිය; ආස්තරණය.