සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 243

ඇදුරා

1. නා. ආචාර්යවරයා; ගුරුවරයා; උපදේශකයා; අනුශාසකයා.
2. නා. මහා කලාකාරයා; විශිෂ්ට ශිල්පියා.
3. නා. මන්තරකාරයා; යකැදුරා.

ඇදුරිඳු

1. නා.ප්‍ර. ශ්‍රේෂ්ඨ ආචාර්යවරයා; ආචාර්යෝත්තමයා.
2. නා.ප්‍ර. බෘහස්පති; සුරගුරු.

ඇදුරු

1. නා.ප්‍ර. ආචාර්යවරයා; ගුරුවරයා.
2. නා.ප්‍ර. පර්වතය; කන්ද.

ඇදුරුකම්

1. නා.ප්‍ර. උපදෙස්; අනුශාසනා; ආචාර්ය වෘත්තිය.
2. නා.ප්‍ර. ගුරුකම්; යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්; මන්ත්‍ර ජප කොට ඉටු කරන ශාන්ති කර්ම.

ඇදුරුවත්

නා.බහු. (විනය.) අන්තේවාසික භික්ෂූන් විසින් ආචාර්ය ස්ථවිරයන්ට කළ යුතු උපස්ථාන.

ඇදුරොල්

1. නා.ප්‍ර. ගුරු පරපුර.
2. නා.ප්‍ර. ගුරු කුලයක ඉගැන්වීම් ක්‍රමය; ආචාර්ය පරම්පරාවේ උපදේශක සම්ප්‍රදාය.

ඇන කොටා ගන්නවා

(කථා.) ක්‍රි. ආයුධ පාවිච්චි කරමින් කලහ කර ගන්නවා; ගහ බැණ ගන්නවා; රණ්ඩු වෙනවා.

ඇන ගන්නවා

1. ක්‍රි. පහර දෙනවා; තමන්ට ම පහර දී ගන්නවා; ශස්ත්‍රාදියෙන් ඇන සිදුරු කරනවා නොහොත් තමන් ම සිදුරු කර ගන්නවා.
2. ක්‍රි. කටු උල් ආදියෙන් ඇනුම් ලබනවා.
3. ක්‍රි. (ගව මහීෂාදින්) හිසින් හෝ අඟින් හෝ එකිනෙකා ඇන ගන්නවා.
4. (කථා.) ක්‍රි. යම් කාර්යයක් අසාර්ථක බවට පත් කර ගන්නවා.

ඇන බානවා

(කථා.) ක්‍රි. උක්කුටයෙන් ඇන තියා හිඳ ගන්නවා; වාඩි වෙනවා.

ඇන හිටිනවා

ක්‍රි. බලාපොරොත්තු නොවූ ලෙස නවතිනවා; හදිස්සියෙන් ම නතර වෙනවා.

ඇන්ටිමනි

(පාරිභා.) නා.ප්‍ර. නිලට හුරු සුදු වූ ද බිඳෙනසුලු වූ ද ලෝහමය මූල ද්‍රව්‍යයක් (=antimony).

ඇන්ද

1. නා. පෙළ; පේළිය; වැටිය.
2. නා. පොලු සිටුවා කළ ආවරණය; වැට; ගරාදි වැට.
3. නා. පුටු, බංකු ආදියේ අත් තැබීම හා හේත්තු වීම සඳහා ඉදි කරන ලද කොටස.

ඇන්න දෙනවා

(කථා.) ක්‍රි. ලබා දෙනවා; අරන් දෙනවා.

ඇන්නෑ ඉළව්ව

(කථා.) නා. වැඩකට නැති කරදරය; හිරිහැරය; විපත.

ඇනුම්පද

නා.ප්‍ර. අසනු ලබන්නාට පහරක් වදින සේ ව්‍යංග්‍යයෙන් කියනු ලබන වචනය; සිත රිදවන ව්‍යංග්‍යාර්ථවත් වාගාලාපය.

ඇනෝඩය

(පාරිභා.) නා. විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂයක හෝ විසර්ජන නළයක හෝ රේඩියෝ
වෑල්වයක හෝ ධන ඉලෙක්ට්‍රෝඩය (=anode).

ඇනෝපිලීස්

නා.ප්‍ර. මැලේරියා රෝගය බෝකරවන මදුරු වර්ගය.

ඇඳ වණ

නා. දිගු කාලයක් ඇඳෙහි ම වැතිර සිටින රෝගියකුගේ ශරීරයෙහි හටගන්නා තුවාල.

ඇඳ විට්ටම

1. නා. ඇඳ රාමුවේ දිග අතට යොදන ලද ලී දෙකින් එකක්.
2. නා. ඇඳ රාමුව; අටනිය.

ඇඳි කණුව

(කථා.) නා. බර කරත්තයක ඇන්ද බැඳීම පිණිස කරත්ත තට්ටුවේ දෙපස සිටුවන කණුවලින් එකක්.

ඇඳි පුටුව

(කථා.) නා. හේත්තු වීම සහ අත් තබා ගැනීම පිණිස ඇඳි ඇත්තා වූ පුටුව.

ඇඳිරි

වි. අඳුර ඇති; ආලෝකය ඉතා අඩු; අන්ධකාරයෙන් යුක්ත; කළුවර.

ඇඳිරි ගෙය

නා. කළුවර ගෙය; බිම්ගෙය; දඟ ගෙය.

ඇඳිරි නීතිය

(පාරිභා.) නා. කලබලකාරී සහ හිංසාකාරී තත්ත්වයන් පාලනය කිරීම පිණිස ජනයා එක් රැස් වීම වැළැක්වීමට රජය විසින් තාවකාලික ව පනවනු ලබන නීතිය; ජනතාවට එළිමහනේ සිටීමට තහනම් කෙරෙන නීතිය (=curfew).