සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 258

ඉකි බිඳිනවා

ක්‍රි. බලවත් දුකකින් ශබ්ද නඟා හඬනවා; හැඬීමේ දී ‘ඉකි’ යන හඬ නිකුත් කරනවා.

ඉකිමැළි

වි. මැලවුණු; වියළුණු; හැකිළුණු.

ඉකිරි කටුව

1. නා. චිත්‍ර ශිල්පය හදාරන ශිෂ්‍යයන් භාවිත කරන උපකරණයක්.
2. නා. ලෝකුරු කර්මාන්තයේ දී කැටයම් ඇඳීමට ගන්නා කටු විශේෂයක්.

ඉකිලිය

නා. කළය; සැළිය; භාජනය.

ඉකිළිය

නා. කලවයෙහි මුලත් බඩෙහි යටි භාගයත් සන්ධි වන තැන; ඌරු සන්ධිය.

ඉකුත්

1. වි. පැරදවූ; අභිභවනය කළ; උල්ලංඝනය කළ; කඩ කළ.
2. වි. කාලය ඉක්මවා ගිය; අතීත; කල්ගත වූ.
3. වි. මළ.

ඉකුත් වත

නා. ගත වූ ජන්මයන් පිළිබඳ කථා ප්‍රවෘත්තිය; අතීත කථාව.

ඉකුත් වෙනවා

1. ක්‍රි. කාලය පසු වෙනවා; කාලය ගතවෙනවා.
2. ක්‍රි. උල්ලංඝනය වෙනවා; අතික්‍රමණය වෙනවා.
3. ක්‍රි. කාලක්‍රියා කරනවා.

ඉකුත් සයුරු

නා.ප්‍ර. සාගරය තරණය කරන ලද තැනැත්තා.

ඉකුම්

නා.ප්‍ර. ඉක්මීම; ඉක්මවීම.

ඉකුම්වනවා

ක්‍රි. ඉක්මවනවා; අතික්‍රමණය කරනවා.

ඉග්ලුව

නා. ඇස්කිමෝවරුන් විසින් අයිස් කුට්ටිවලින් සාදා ගනු ලබන අර්ධ ගෝලාකාර නිවාසය.

ඉගිලෙනවා

1. ක්‍රි. මුලින් ඉදිරෙනවා; ගිලිහෙනවා; ගැලවෙනවා.
2. ක්‍රි. පියාසර කරනවා.
3. ක්‍රි. නැගිටිනවා; පැන යනවා.

ඉගු

නා.ප්‍ර. උක්ගස.

ඉගු දුනු

1. නා.ප්‍ර. උක්දඬු දුන්න.
2. නා.ප්‍ර. අනංගයා.

ඉගුචාප

නා.ප්‍ර. උක් දඬු දුන්නක් ඇති තැනැත්තා; අනංගයා.

ඉගුසැව්ව

නා. අනංගයාගේ දුන්න.

ඉගුසැව්වා

නා. අනංගයා.

ඉඞ්ගිතය

1. නා. ඉඟියෙන් අදහස් දැක්වීම; අංග වචනයෙන් අදහස් දැක්වීම.
2. නා. අදහස; සිත තුළ පවත්නා අභිලාෂය.

ඉඟ

නා. මිනිස් සිරුරේ ඉල ඇට හා උකුළ අතර ප්‍රදේශය; ඉණ.

ඉඟටි අස්ථිය

නා. උකුළු ඇටය.

ඉඟටිය

නා. ඉඟ.

ඉඟසුඟ

නා. සිහින් ඉඟ.

ඉඟි කරනවා

ක්‍රි. අංගචලන, නෙතඟින් බැලීම් ආදියෙන් අදහස් දක්වනවා ; සංඥා කරනවා.