සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 267

ඉන්ද්‍රදිශාව

නා. ඉන්ද්‍ර දෙවියන් අධිපති දිශාව; නැගෙනහිර දිශාව; ඉන්ද්‍ර දිග.

ඉන්ද්‍රදේව

නා.ප්‍ර. ශක්‍ර දේවේන්ද්‍රයා.

ඉන්ද්‍රධනුව

නා. දේදුන්න; ඉන්ද්‍රචාපය.

ඉන්ද්‍රධ්වජය

නා. ඉන්ද්‍රයාට හිමි කොඩිය.

ඉන්ද්‍රනීල

නා.ප්‍ර. නිල්මිණි; නිල් මැණික්; ශ්‍රී ලංකාවේ මැණික් අතර උසස් ලෙස සැලකෙන මැණික් වර්ගය.

ඉන්ද්‍රනීල මාණික්‍යය

නා. ඉන්ද්‍රනීල වර්ගයට අයත් මැණික; ඉඳුනිල් මැණික.

ඉන්ද්‍රභවනය

නා. ශක්‍රදේවේන්ද්‍රයා වසන තව්තිසා දෙව්ලොව.

ඉන්ද්‍රභාවය

නා. අධිපති බව; පරමේශ්වරත්වය.

ඉන්ද්‍රමන්ත්‍රී

නා.ප්‍ර. බෘහස්පති ග්‍රහයා.

ඉන්ද්‍රලුප්ත

නා.ප්‍ර. හිසෙහි කෙස් වැටීම සංඛ්‍යාත රෝගය; උඳුගොව්වන් හිසකේ කෑම නිසා ඇතිවන රෝගය.

ඉන්ද්‍රායුධය

නා. ඉන්ද්‍රයාගේ ආයුධය; දේදුන්න.

ඉන්ද්‍රාරි

නා.ප්‍ර. අසුරයා; යක්ෂයා.

ඉන්ද්‍රාසනය

නා. ඉන්ද්‍රයාගේ හෙවත් ශක්‍රයාගේ ආසනය; පාණ්ඩු කම්බලශෛලාසනය.

ඉන්ද්‍රිය

නා.ප්‍ර. තමා ගැන සහ විෂය ලෝකය පිළිබඳ දැනුම උපදවන ඇස්, කන් ආදි ශරීරාඞ්ග.

ඉන්ද්‍රිය දමනය

නා. ඇස්, කන් ආදි ඉන්ද්‍රිය හික්මවා ගැනීම.

ඉන්ද්‍රිය පද්ධතිය

නා. ඉන්ද්‍රිය සමූහය.

ඉන්ද්‍රිය පරිපාකය

නා. සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන පංචේන්ද්‍රියයන්ගේ මේරීම හෙවත් මුහු කිරීම.

ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය

නා. හික්මවිය යුතු ජනයන්ගේ ශ්‍රද්ධාදි පඤ්ච ඉන්ද්‍රියයන්ගේ උත්තම අනුත්තම බව හෝ මේරූ බව පිළිබඳ ඥානය; බුදුන් වහන්සේගේ ෂට් අසාධාරණ ඤාණයන්ගෙන් පළමුවැන්න.

ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය

නා. චක්ෂුරාදි පඤ්ච ඉන්ද්‍රියයන් හා රූපාදි අරමුණු අතර සන්නිකර්ෂය හෙවත් ගැටීම නිසා හටගන්නා ඥානය; ඉන්ද්‍රිය ඇසුරු කරන්නා වූ ඥානය.

ඉන්ද්‍රිය ප්‍රවෘත්තිය

නා. ඇස්, කන්, නාසාදි ඉඳුරන්ගේ පැවැත්ම.

ඉන්ද්‍රිය ලෝකය

නා. සත්ත්ව සමූහයා බෙදා ඇති ත්‍රිවිධ ලෝකයෙන් එකක්; අරූපලෝකවාසී සත්ත්ව සමූහය.

ඉන්ද්‍රිය විකාරය

නා. ඇස්, කන් ආදි ඉඳුරන්ගේ වෙනස්වීම හෝ ඉන්ද්‍රිය චලනය; ඉන්ද්‍රියයන්ගේ කැලඹුණු ස්වභාවය.

ඉන්ද්‍රිය සංයමය

නා. ඇස්, කන් ආදි ඉඳුරන් හික්මවා ගැනීම; ඉන්ද්‍රිය සංවරය.

ඉන්ද්‍රිය සංවර සීලය

නා. ඉන්ද්‍රිය සංවරය හෙවත් ඉඳුරන් හික්මවන සතර සංවර ශීලයෙන් එකක්; ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය; ආජීව පාරිසුද්ධි°, ප්‍රත්‍ය සංනිශ්‍රිත°, අනෙක් තුනයි.