සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 268

ඉන්ද්‍රිය සංවරය

නා. ඉඳුරන් හික්මවීම.

ඉන්ද්‍රියගෝචර

වි. ඉන්ද්‍රියයන්ට ගොදුරු වන; ඉන්ද්‍රියයන්ට විෂය වන.

ඉන්ද්‍රියඥානය

නා. චක්ෂුරාදි ඉන්ද්‍රියයන් ඇසුරින් ලද ඒ නිසා අනුමානයෙන් තොර ඥානය; අනුභව ඥානය; ප්‍රත්‍යක්ෂ ඥානය.

ඉන්ද්‍රියවිජය

නා.ප්‍ර. ඉන්ද්‍රිය දමනය.

ඉන්දියන්

වි. ඉන්දියාව හෙවත් භාරත දේශය පිළිබඳ; ඉන්දීය.

ඉන්දියන් සාගරය

නා. ඉන්දියන් අර්ධ ද්වීපය සීමා කොට පිහිටි මහා සාගරය.

ඉන්දියාව

නා. දකුණු ආසියාවේ හිමාලය කඳු වැටියට දකුණින් ඉන්දියන් සාගරය දෙසට නෙරා ඇති ත්‍රිකෝණාකාර අර්ධ ද්වීපය; භාරතය.

ඉන්දීවර

නා.ප්‍ර. නිලුපුල්; නිල් මානෙල්.

ඉන්දීවරී

නා.ප්‍ර. හාතවාරිය.

ඉන්දු

1. නා.ප්‍ර. ඉන්ද්‍ර; සඳ; චන්ද්‍රයා.
2. නා.ප්‍ර. රාත්‍රිය.
වි. ඉන්දීය.

ඉන්දු ආර්ය

වි. ක්‍රි. පූ. 1900 දී පමණ මධ්‍යම ආසියාවේ සිට ඉන්දියාවේ වයඹ දිග දුර්ග ඔස්සේ උතුරු ප්‍රදේශයට සංක්‍රමණය වූ ආර්ය ගෝත්‍රිකයන්ගෙන් පැවැත එන මනුෂ්‍ය වර්ගයා හා සම්බන්ධ.

ඉන්දු ආර්යයෝ

නා.බහු. ඉන්දු ආර්ය මනුෂ්‍ය වර්ගයා.

ඉන්දු නිම්නය

නා. පාකිස්ථානයේ ඉන්දු (ඩන්ඩස්) ගංගාව ආශ්‍රිත ව පවතින තැනිතලා ප්‍රදේශය.

ඉන්දුනීසියාව

නා. ඉන්දියන් සාගරයට නැගෙනහිරින් ද ඕස්ට්‍රේලියාවට උතුරින් ද පිහිටි ලොකු, කුඩා දිවයින් රාශියකින් සෑදුණු රාජ්‍යය.

ඉන්ධන

1. නා.ප්‍ර. ගිනි දැල්වීම සඳහා දහනය කළ යුතු දර ආදී දෙය.
2. නා.ප්‍ර. දැවීමේ දී පිටවන තාපය යන්ත්‍ර ක්‍රියා කරවීම් ආදී කාර්මික කටයුතු සඳහා සහ ගෘහස්ත ප්‍රයෝජනයන්ට යොදා ගත හැකි ලෙස දහනය කිරීමට හැකි දෙය.

ඉන්ධන ආමානය

(පාරිභා.) නා. ඉන්ධන මනින උපකරණය (=fuel gauge).

ඉන්ධන වායුව

(පාරිභා.) නා. ගෑස් ආදි දහනය වන වායුව (=fuel gases).

ඉන්න

1. නා. වැට බැඳීම සඳහා සිටුවන කෝටුව.
2. නා. ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුල්ල සඳහා භාවිතා කරන පොලු විශේෂය.

ඉන්වාර්

(පාරිභා.) නා.ප්‍ර. යකඩ (64%) සහ නිකල් (36%) මිශ්‍ර මාත්තු ලෝහය (=invar).

ඉන්වෙන්ටරිය

නා. ගබඩා කාමර, ගුදම් හෝ වෙනත් ස්ථානවල තැන්පත් කොට ඇති විවිධ ද්‍රව්‍ය හා භාණ්ඩ පිළිබඳ සවිස්තර ලැයිස්තුව.

ඉන්වොයිසිය

නා. අපනයන කරනු ලබන භාණ්ඩ පිළිබඳ සටහන් පත්‍රය.

ඉන්ෂුවරන්ස්

නා.ප්‍ර. ජීවිතයට හෝ දේපොළවලට හානියක් හෝ අනතුරක් සිද්ධ වුවහොත් ඒ වෙනුවෙන් මුදල් ලබා ගැනීම සහතික කරන ක්‍රමය; රක්ෂණය.

ඉන්සියුලින්

(පාරිභා.) නා.ප්‍ර. අග්න්‍යාශයෙන් ස්‍රාවය කෙරෙන ද්‍රාව්‍ය ප්‍රෝටීනයක් වූ රසායනික හෝර්මෝනයක්; දියවැඩියා රෝගීන්ට ශරීරගත කිරීම සඳහා සතුන්ගේ අග්න්‍යාස සාරය ගෙන සාදන ඖෂධය (=insulin).

ඉන්සියුලේටරය

නා. විද්‍යුතයේ ගමන වළක්වන ලී, රබර්, වීදුරු ආදි ද්‍රව්‍යය; විද්‍යුත් පරිවාරකය; විද්‍යුස්ථාපකය.