සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 269

ඉන්ෆ්ලුවන්සා

නා.ප්‍ර. කැස්ස, හෙම්බිරිස්සාව සහ උණ එක්වර ඇතිවන තදබල බෝවන රෝගය.

ඉන්ෆ්ලේටරය

නා. (ටයර් ටියුබ් ආදියට හුළං පිරවීමට භාවිත කරන) හුළං බටය හෙවත් හුළං පොම්පය.

ඉනැමල්

නා.ප්‍ර. ලෝහ, වීදුරු හා මැටි භාණ්ඩ මතුපිට ආලේප කිරීමෙන් දැඩි ඔපයක් ඇති කිරීමෙන් නිමාවක් ගෙන දෙන ද්‍රව්‍යය; එනැමලය.

ඉනිබ

ඉන්+ඔබ, ඉන්+ඔබ්බ
ක්‍රි.වි. එයින් ඔබ්බෙහි; ඉන්පසු; ඊට ඉක්බිති; ඊළඟ.

ඉනිම

නා. ක්‍රිකට් ක්‍රීඩාවේ දී පන්දුවට පහර දීමට එක් පිළකට නොහොත් පිතිකරුවකුට හිමි වන වාරය හෙවත් වටය.

ඉනිමාන

නා. කුඹුරු ගොවිතැනෙහි කමත අතුගෑමට යොදා ගන්නා ඉලපත.

ඉඳලෝලු

නා.ප්‍ර. ආහාරයට ගන්නා හතු වර්ගයක්.

ඉඳහිට

ක්‍රි.වි. කලාතුරකින්; විටින් විට; ඇතැම් විට.

ඉඳි කෙළිය

නා. චිරාගත සිංහල ගෘහ ක්‍රීඩාවක්; ඉඳිපෙළීම; ගල්කෙළිය.

ඉඳි පිළිම

නා.බහු. හිඳගෙන සිටින ඉරියව්වෙන් තනා ඇති ප්‍රතිමා.

ඉඳිකටුපීර

(පාරිභා.) නා. ඉඳිකටුවක් වැනි සිහින් පීර(=needle file).

ඉඳිකැන්

නා.ප්‍ර. රට ඉඳි පොකුර; යොන් ඉඳිවල්ල.

ඉඳු

1. නා.ප්‍ර. සඳු; චන්ද්‍රයා.
2. නා.ප්‍ර. කපුරු.
3. නා.ප්‍ර. ඉන්ද්‍ර දිසාව; පෙරදිග.
4. නා.ප්‍ර. නායකයා; අධිපතියා; ප්‍රධානයා.
5. නා.ප්‍ර. සක්දෙවි ;ඉන්ද්‍ර දේවයා.
6. වි. ඉතා හොඳ; මාහැඟි; ශ්‍රේෂ්ඨ; උතුම්.

ඉඳු උපුල්

නා.ප්‍ර. නිල්වන් මැණික්; ඉන්ද්‍රනීල මාණික්‍යය.

ඉඳු ගජ

නා.ප්‍ර. ඉන්ද්‍ර දෙවියාගේ හෙවත් ශක්‍රයාගේ ඇතා; ඓරාවණ හස්තිරාජයා.

ඉඳු දුන්න

නා. ඉඳුදද; දේදුන්න.

ඉඳු මඬල

නා. චන්ද්‍ර මණ්ඩලය; සඳ වටේ සෑදෙන රැස් වළල්ල.

ඉඳු විදුර

නා. ශක්‍රයාගේ ආයුධය; වජ්‍රායුධය.

ඉඳුගොව්වා

නා. වර්ෂා කාලයෙහි පොළොවෙහි මතු වන රත් හෝ සුදු පැහැති කීට වර්ගයක්; ඉන්ද්‍ර ගෝපකයා.

ඉඳුදද

නා.ප්‍ර. දේදුන්න; ඉඳු දුන්න.

ඉඳුපා

නා.ප්‍ර. සඳ කැලුම්; චන්ද්‍ර රශ්මිය.

ඉඳුමිණි

නා.ප්‍ර. ඉඳුනිල් මිණ; ඉන්ද්‍රනීල මාණික්‍යය.

ඉඳුරත්නය

1. නා. මුතු ඇටය.
2. නා. චන්ද්‍ර රත්නය.

ඉඳුරා

වි. කෙළින්; ඍජු; අවංක.
ක්‍රි.වි. කෙළින්; ඇද නැති ව; එක එල්ලේ; ඒකාන්තයෙන්.