සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 266

ඉදුබා

නා.ප්‍ර. ඉබ්බා; ඉදිබුවා.

ඉදුහය

නා. ඍද්ධිය; සිත දියුණු කිරීමෙන් ඇතිවන ආශ්චර්යවත් බලය; ආශ්චර්යවත් දේ කළ හැකි චෛතසික බලය.

ඉදෙනවා

1. ක්‍රි. පැසෙනවා; (හුමාලයෙන්, කඩපිම්මෙන් හෝ වංඩුවෙන්) තැම්බෙනවා.
2. ක්‍රි. පරිපාකයට පත් වෙනවා; මෝරා මෘදු බවට පැමිණෙනවා.
3. (කථා.) ක්‍රි. (මහලු වියට පැමිණීමෙන් ඉසකේ ලෝම ආදිය ) සුදු වෙනවා.
4. ක්‍රි. මේරූ කොළ ඉක්බිතිව දුඹුරු හෝ කහ පාටට හැරෙනවා.

ඉදොලුව

නා. දෝලාව; පල්ලැක්කිය.

ඉනම

නා. පහත් කුලය; ගෝත්‍රය.

ඉනර්ෂියාව

නා. උනන්දු නැතිකම; අලසකම.

ඉන්ඉට

ක්‍රි.වි. එකකින් අනිකට; එකිනෙකට.

ඉන්කියුබේටරය

(පාරිභා.) නා. කෘත්‍රිම රත්කිරීමෙන් බිත්තර රකින උපකරණයක්(=incubator).

ඉන්චිය

(කථා.) නා. ඉංග්‍රීසි මිනුම් ප්‍රමාණයක්; අඩියෙන් දොළහෙන් පංගුව; අඟල.

ඉන්ජන්ෂන් තහනම

(පාරිභා.) නා. සාවද්‍ය ක්‍රියාවක් වළකන හෝ පීඩාවට පත් පක්ෂය යථා තත්ත්වයට පත් කිරීම හෝ ආදිය ඉටු කිරීම සඳහා බලකරන නෛතික තහනම (=injunction).

ඉන්ජිනේරු ගල්

නා.ප්‍ර. ගඩොල්.

ඉන්ජිනේරු විද්‍යාව

(පාරිභා.) නා. යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි ආදිය සැලසුම් කිරීම හා නිර්මාණය කිරීම පිළිබඳ ශිල්පය හෙවත් විද්‍යාව.

ඉන්ජිනේරුවා

නා. කර්මාන්ත විෂයයෙහි සැලසුම්, උපකරණ ආදිය නිර්මාණය කරන්නා; අදාළ යන්ත්‍ර සූත්‍රාදිය හා සේවා නඩත්තු කරන්නා වූ ද, පවත්වාගෙන යන්නා වූ ද විශේෂඥයා.

ඉන්ටර්නෙට්

(පාරිභා.) නා.ප්‍ර. අන්තර්ජාලය (=internet).

ඉන්ඩියම්

නා.ප්‍ර. රිදියට හුරු සුදු පැහැයෙන් යුත් ඉතා දුර්ලභ මෘදු ලෝහ වර්ගයක්.

ඉන්ඩියාරබර්

නා.ප්‍ර. රබර් වැනි ගස්වල මුදවන ලද කිරි.

ඉන්තේරුවේ

ක්‍රි.වි. සම්පූර්ණයෙන්; මුළුමනින්.

ඉන්ද්‍ර

1. නා.ප්‍ර. ශක්‍රයා.
2. නා.ප්‍ර. ප්‍රධානියා; අධිපතියා; රාජයා.
3. නා.ප්‍ර. සර්වඥයන් වහන්සේ.
4. නා.ප්‍ර. දෙට නැකත.
5. නා.ප්‍ර. කළුඊයම්.
වි. ඉතා හොඳ; මාහැඟි; ශ්‍රේෂ්ඨ; උතුම්.

ඉන්ද්‍රඛීලය

1. නා. පුරාණ කාලයේ ගෘහයක හෝ ගමක හෝ පුර වාසලක හෝ ස්ථිර සාරත්වයේ සංකේතයක් වශයෙන් පිහිටුවන ලද කණුව.
2. නා. බෞද්ධ විහාරවල පැවැත්වෙන බුද්ධ ප්‍රතිමා නේත්‍ර මංගල්‍ය ප්‍රතිෂ්ඨාපනයක දී 'අන්‍ය දෝෂධාරියකු' වශයෙන් භාවිත කිරීම සඳහා රුක් අත්තන කෝටුවක රෙදිකඩ ඔතා සාදා ගන්නා කුඩා කණුව.
3. (කථා.) පිරිත් මණ්ඩපයක් මැද සිටුවන කුඩා කණුව.

ඉන්ද්‍රගුරුළුව

නා. අනාවැකි අපේක්ෂාවෙන් කරනු ලබන ශාස්ත්‍ර ක්‍රමයක්.

ඉන්ද්‍රගෝපකයා

නා. වර්ෂා කාලයෙහි පොළොවෙන් මතු වන රන් පැහැති හෝ සුදු පැහැති කීට හෙවත් පළඟැටි විශේෂයක්.

ඉන්ද්‍රචාපය

නා. දේදුන්න.

ඉන්ද්‍රජාලිකයා

නා. ඇස්බැන්දුම්කාරයා; මායාකාරයා; විජ්ජාකාරයා.

ඉන්ද්‍රජිත්

නා.ප්‍ර. රාවණාගේ පුත්‍රයාගේ නාමය.