සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 265

ඉද්ධිපාද

නා.ප්‍ර. (අභි.) ඍද්ධියට මුල්වන ධර්ම වන ඡන්ද, වීරිය, චිත්ත, වීමංසා යන හතර.

ඉද්ධිමය

වි. ඍද්ධියෙන් උපන්.
නා.ප්‍ර. ඒහි භික්ෂුභාවයෙන් පැවිදිවීමට ඍද්ධියෙන් පහළවන වස්ත්‍රය.

ඉද්ධිවිධ

නා.ප්‍ර. (අභි.) ඍද්ධි විශේෂය; ඍද්ධි ආකාරය.

ඉද්ධිවිධ ඤාණය

නා. ඍද්ධි විශේෂයන් පිළිබඳ දැනුම.

ඉද්ධිවිසය

නා. (අභි.) ඍද්ධියෙන් කළ හැකි දෙය; ඍද්ධි ගෝචරය.

ඉදැල්ල

(කථා.) නා. ඉඩෝරය; තද පෑවිල්ල.

ඉදි

1. වි. ඇද නැති; කෙළින් සිටි; ඍජු වූ.
2. වි. අධික; පිරුණු; සමෘද්ධ.
3. වි. සම්පාදිත; සකස් කළ; සෑදූ; තැනූ.
නා.ප්‍ර. ඍද්ධිය ‍; භාවනා බලයෙන් ඉපදවිය හැකි ආධ්‍යාත්මික ශක්තිය.

ඉදි කරනවා

1. ක්‍රි. සකස් කරනවා; පිළියෙළ කරනවා; සම්පාදනය කරනවා; සාදනවා.
2. ක්‍රි. කෑම් බීම් ආදිය සම්පාදනය කරනවා හෙවත් පිළියෙල කරනවා.
3. ක්‍රි. කෙළින් කරනවා; ඇද නැති කරනවා.

ඉදි ලනවා

ක්‍රි. අගුළු ලනවා හෙවත් අගුළු දමනවා; හරස් පොලු දමනවා.

ඉදි වැල

නා. කපු කටින ඉද්දේ දණ්ඩ හෙවත් කූර; ඉදිකූර.

ඉදිආප්ප

නා.ප්‍ර. වතුරෙන් අනා සකස්කර ගත් පිටි, ඉඳි ආප්ප වංගෙඩියකින් තට්ටුවලට වත්කර වාෂ්පයෙන් තම්බා ගන්නා කෑම වර්ගයක්; ඉඳියප්පම්.

ඉදිකටු මල

නා. ඉදි කටුවෙහි නූල අමුණන සිදුර; ඉදිකටු සිදුර.

ඉදිකටුව

නා. මැහීම, බෙහෙත් විදීම, ශල්‍යකර්ම ආදියෙහි දී භාවිත කරනු ලබන කුඩා සිහින් කටුවක්.

ඉදිකඩ

නා. වත්තක හෝ කොටුව වටා ඇති වැටකින් ඇතුල්වන තැන තිබෙන හරස් පොලු මාර්ගයෙන් අරින වහන කපොල්ල; ඉදි කඩුල්ල.

ඉදිතුලාව

නා. තුලා දඬුව; පලම් දණ්ඩ; තරාදිය.

ඉදිනිය

නා. උදුන; ලිප.

ඉදිමත්

වි. ඍද්ධිය ඇති.

ඉදිමෙනවා

1. ක්‍රි. යම්කිසි ආබාධයක් නිසා සිරුරේ කොටසක් හෝ මුළු සිරුර ම හෝ මහත් වෙනවා; නෙරා සිටිනවා.
2. ක්‍රි. පමණට වඩා තමාගේ බලපුළුවන්කාරකම් ගැන හිතනවා; උඩඟු වෙනවා.

ඉදිරි රැකුම

(පාරිභා.) නා. ඉදිරියට සිදු විය හැකි අලාභයෙන් ආරක්ෂා වීම (=hedging).

ඉදිරිපත් කරනවා

ක්‍රි. ඉදිරියට හෙවත් අභිමුඛයට පමුණුවනවා; ගෙනහැර පානවා.

ඉදිරිපසු

ක්‍රි.වි. පළමුව හෝ පසුව; කලින් හෝ ප්‍රමාදව.
නා.ප්‍ර. (කථා.) වැරැද්ද; ප්‍රමාද දෝෂය.

ඉදිරිපිට

ක්‍රි.වි. ඉදිරියෙහි; හමුවෙහි; අභිමුඛයෙහි.

ඉදිරිය

1. නා. මුහුණට මුහුණ ලා සිටින තත්ත්වය; ඉස්සරහ; අභිමුඛය.
2. නා. අනාගතය; මතු කාලය.
3. නා. එදිරිය; විරෝධය.

ඉදු

1. වි. ඇද නැති; කෙළින් සිටි; ඍජු වූ.
2. වි. අවංක; කපටි නොවූ.
3. වි. අධික; පිරුණු.
1. නා.ප්‍ර. ධන සම්පත්තිය; සමෘද්ධිය.
2. නා.ප්‍ර. ඍද්ධිය.