සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 282

ඉස්වැටිය

1. (කථා.) නා. ප්‍රධාන නියර හෝ බැම්ම.
2. නා. ජටාව.

ඉස්සර

වි. පූර්ව; පුරාණ; ප්‍රථම; මුල්.
ක්‍රි.වි. අතීතයෙහි; පූර්වයෙහි; පෙර; කලින්; ඉදිරියෙහි.
1. නා. ඊශ්වර දෙවියා.
2. නා. කුඹුරක එක් පැත්තක සිට අනික් පැත්තට හරස් අතට පැතිරුණු ලියදි කිහිපයක් සහිත කොටස නොහොත් බිම් තීරුව.

ඉස්සර කපනවා

ක්‍රි. බාධා කරනවා; අවහිර කරනවා; වළක්වනවා.

ඉස්සර කරනවා

(කථා.) ක්‍රි. ඉදිරියට පැමිණෙනවා; පසු කොට යනවා.

ඉස්සර බලනවා

(කථා.) ක්‍රි. ඉදිරියට යනවා; ගමනාරම්භ කරනවා; පිටත් වෙනවා.

ඉස්සරහ

වි. ඉදිරියෙහි පිහිටි; ඉදිරි; අභිමුඛ.
නා. ඉදිරිපස; අභිමුඛය.

ඉස්සරායතනය

නා. ඊශ්වර දෙවියන්ගේ වාසස්ථානය; ඊශ්වර දේවාලය.

ඉස්සරිය

නා.ප්‍ර. ආධිපත්‍යය; ශ්‍රේෂ්ඨත්වය.

ඉස්සරියෙන්

ක්‍රි.වි. කල් ඇති ව; කලින්; මත්තෙන්.

ඉස්සා

1. නා. කලපුවල හා මුහුදේ නොගැඹුරු තැන්වල මඩ සහිත පතල්වල ජීවත්වන සන්ධි පාදැති සත්ත්ව විශේෂයක්; නළමින්.
2. නා. අනුන්ගේ යස ඉසුරු නොඉවසන ස්වභාවය; ඊර්ෂ්‍යාව.

ඉස්සාමච්ඡරිය සංයෝජනය

නා. ඊර්ෂ්‍යාව හා මසුරුබව යන බන්ධනය.

ඉස්සාසයා

නා. දුනුවායා; ධනුර්ධයා.

ඉස්සොරි

නා.ප්‍ර. හිසේ සමෙහි කොරළ වැනි දෙයක් ඇති වීමේ රෝගය; හිසේ සමෙන් ගැලවී යන කොරළ වැනි හම් කැබලි.

ඉස්සොලිය

1. නා. (නළුවන් බෙරවයන්නන් කපුවන් ආදින්) හිසෙහි බඳින රෙදිකඩ නොහොත් ජටාව.
2. (කථා.) නා. මනාල යුවළ මඟුල් පෝරුවේ සිටුවන මනාලියගේ මාමා (හෝ එම කටයුතු ඉටු කරන තැනැත්තා හෝ) හිසෙහි බැඳ ගන්නා විසිතුරු ලේන්සුව.

ඉසාන

1. නා.ප්‍ර. උතුරත් නැගෙනහිරත් අතර වූ අනුදිශාව; උත්තර පූර්වය.
2. නා.ප්‍ර. නිදන විට හිස දමන පැත්ත.

ඉසි

1. නා.ප්‍ර. මුනිවරයා; තපස්වියා; ඍෂියා.
2. නා.ප්‍ර. ඊර්ෂ්‍යාව.

ඉසි පැවිජ්ජ

නා. (භික්ෂු ප්‍රව්‍රජ්‍යාවෙන් අන්‍ය වූ) තාපස ප්‍රව්‍රජ්‍යාව; තවුස් පැවිද්ද.

ඉසිනවා

1. ක්‍රි. කැමති වෙනවා; ප්‍රාර්ථනා කරනවා.
2. ක්‍රි. විසුරුවනවා.
3. ක්‍රි. ළිං පොකුණු ආදියෙහි ජලය ඉවත් කරනවා; දිය පිටතට දමනවා.

ඉසිය

1. නා. කැමැත්ත.
2. නා. ඊර්ෂ්‍යාව.

ඉසිර

1. නා. ඊශ්වර භාවය; ආධිපත්‍යය.
2. නා. වස්තුව; ධනය.
3. නා. ප්‍රධානයා; අධිපතියා

ඉසිවත්

වි. අනුන්ගේ යස ඉසුරු නොඉවසන ස්වභාවය ඇති; ඊර්ෂ්‍යාවන්ත.
නා.ප්‍ර. ඊර්ෂ්‍යාවන්ත තැනැත්තා.

ඉසිවරයා

නා. ඍෂිවරයා.

ඉසිවාත

නා.ප්‍ර. ඍෂීන්ගේ ශරීර ස්පර්ශය වී එන සුළඟ.

ඉසුඹු

නා.ප්‍ර. විවේකය; විශ්‍රාමය.