සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 281

ඉස්පැනර්

(කථා.) නා.ප්‍ර. ඉස්කුරුප්පුවක මුරිච්චි පෙත්ත කරකවන අඬුව.

ඉස්පිරිත්තු

නා.ප්‍ර. සාරය; මද්‍යසාරය.

ඉස්පිරිතාලය

නා. ආරෝග්‍යශාලාව.

ඉස්පිල්ල

නා. ව්‍යංජනාක්ෂරයක ‘ඉ’, ‘ඊ’ ස්වර නියෝජනය සඳහා ඒ අක්ෂරයක් මත ලියන ි, ී යන ලකුණ.

ඉස්පීසරය

(කථා.) නා. බීරලු කොට්ටේ රේන්ද පටි ගෙතීම සඳහා ගන්නා අල්පෙනෙත්ති කටු තුඩෙන් විදින ලද රේන්ද මෝස්තරයෙන් යුතු කඩදාසි පටිය.

ඉස්පෙට්ටිය

(කථා.) නා. ධාන්‍ය වර්ග හිසෙන් ගෙන යෑම සඳහා පන්වලින් වියන ලද විශාල කූඩය.

ඉස්පේළිය

නා. පුවත්පතක ලොකු අකුරෙන් යෙදූ මාතෘකා පාඨය; ශීර්ෂපාඨය.

ඉස්පොඩි

නා.ප්‍ර. ඊයම් කුඩු.

ඉස්පොල්ල

1. නා. මොළය වසා සිටින ඉස්කබල.
2. නා. ශ්වාසනාලය.

ඉස්පොල්ලේ යනවා

(කථා.) ක්‍රි. වතුර, ආහාර ආදිය ශ්වාසනාලයේ යනවා; පිට උගුරේ හිර වෙනවා.

ඉස්බ

නා. රියන් එකසිය හතළිහක දිගක් හෙවත් යෂ්ටි විස්සක දුර ප්‍රමාණය වූ පුරාණ මිනුමක්.

ඉස්බෙනවා

ක්‍රි. විශ්‍රාම ගන්නවා; විවේක ගන්නවා; සැතපෙනවා.

ඉස්ම

නා. යුෂ; දියර; (සූපයක) බොර හෝ හොදි.

ඉස්මත්ත

1. නා. වෙලක හෝ ඉඩමක හෝ ගඟක හෝ ඉහළ පැත්ත; ගසක හෝ කන්දක හෝ මුදුන.
2. නා. වැවකට හෝ කුඹුරකට හෝ ඉහළින් උස් ව පිහිටි ඊට යාබද ප්‍රදේශය.

ඉස්මතු කරනවා

ක්‍රි. පෙරටු කොට හෝ ප්‍රමුඛ කොට දක්වනවා; ප්‍රධාන හෝ විශේෂ කොට පෙන්වනවා.

ඉස්මතු වෙනවා

ක්‍රි. ප්‍රකට ව පෙනී යනවා; ඉදිරියට එනවා; කැපී පෙනෙනවා.

ඉස්මෝරු

නා.ප්‍ර. මාළුවලින් හෝ මස්වලින් සාදන සූපයක්.

ඉස්රන්

නා.ප්‍ර. එක හිසක් හෙවත් එක මිනිසෙකු වෙනුවෙන් අය කළ බද්ද.

ඉස්ලාමය

නා. මුස්ලිම් ආගම; මහමදාගම.

ඉස්ලාම්

වි. මුස්ලිම් ආගමට අයත්; මහමදීය.

ඉස්වට

නා.ප්‍ර. දෙපා සිට හිස දක්වා උස ප්‍රමාණය.

ඉස්වද්දනවා

ක්‍රි. ඉස ගසාගන්නවා; හිස සඟවනවා.

ඉස්වන

ක්‍රි.වි. පළමු වරට; මුලදීම.

ඉස්වහනවා

1. (කථා.) ක්‍රි. රැස් වෙනවා; රංචු ගැහෙනවා.
2. ක්‍රි. (වතුරට) යටවෙනවා.