සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 290

උකු

වි. ඝන; සාන්ද්‍ර.
නා.ප්‍ර. ඌරන් උගුරෙන් නඟන රළු හඬ.

උකු තළනවා

ක්‍රි. යටි උගුරෙන් රළු පහත් හඬක් නිකුත් කරනවා.

උකුකිරි

1. නා.ප්‍ර. ඝන පොල්කිරි; මිටිකිරි; ගාන ලද පොල් මුල්වර මිරිකීමෙන් ලබා ගැනෙන කිරි.
2. නා.ප්‍ර. ජලය මිශ්‍ර නැති ඝන බවට පත් කළ දියර කිරි.

උකුටු

නා.ප්‍ර. ප්‍රීති ඝෝෂාව; ඔල්වර හඬ.

උකුණා

නා. හිසකේ අතර බෝවන කුඩා කෘමි විශේෂයක්.

උකුණුවළ

නා. හිසේ පිටි පැත්තේ බෙල්ලට ඉහළින් පිහිටි වළ.

උකුත්

1. වි. ඉකුත්; පසු කළ; ඉක්ම වූ.
2. වි. මළ.

උකුත් කරනවා

ක්‍රි. පසු කරනවා; ඉක්ම යනවා; උල්ලංඝනය කරනවා.

උකුත් වෙනවා

ක්‍රි. මැරෙනවා; කාලක්‍රියා කරනවා.

උකුනිල්ල

(කථා.) නා. මී රා සඳහා ගස් මදින්නා සිය උපකරණ එල්ලා ගැනීමට ඉණේ ගසා ගන්නා කොක්ක.

උකුනුගස

(කථා.) නා. මඬින ලද ගොයම් ඇවිස්සීම සඳහා භාවිත කරන අගින් වක් වූ දිග ලීය; දැති ගොයියා.

උකුනුතැල්ල

නා. (ගොවි.) උකුනු ගහේ කෙළවර සවි කර ඇති වක් වූ යකඩ උල.

උකුබානවා

1. ක්‍රි. යටි උගුරෙන් රළු පහත් හඬක් නිකුත් කරනවා.
2. ක්‍රි. තරවටු කරනවා; සැර කරනවා; බැණ වදිනවා.

උකුල් ඇටය

නා. කශේරුවෙහි පහත කෙළවර උකුළ අභ්‍යන්තරයෙහි කපාලාකාරව පිහිටි ඇටය.

උකුල් දෙනවා

ක්‍රි. උඩට නඟා තබනවා; ඔසවනවා.

උකුළ

1. නා. කටිය; ශ්‍රෝණිය.
2. නා. ඇකය; ඔඩොක්කුව.

උකුළු

නා.ප්‍ර. කුකුළා; කුක්කුටයා.

උකුළු පොරය

නා. ඉතා පහසු කටයුත්ත.

උකුළුවට

නා.ප්‍ර. වට වූ උකුළ; පුළුල් උකුළු ප්‍රදේශය.

උග

වි. ප්‍රධාන; බලගතු.

උගත්

වි. ඉගෙනගත්; ව්‍යක්ත; බහුශ්‍රැත.

උගනහර

නා.ප්‍ර. පිටිකර උකුණුවළ දෙපැත්තේ සහ පය බොලට දෙපැත්තේ ඇති බල නහර දෙක.

උගන්නවා

ක්‍රි. ඉගෙනීම කරනවා; ඉගෙන ගන්නවා; උද්ග්‍රහණය කරනවා.