සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 354

එකපැහැර

ක්‍රි.වි. එක් වර ම; එක් වරට ම; වහා ම; ක්ෂණයකින්.

එකබඳ

1. වි. එකට බැඳුණු; ඒකාබද්ධ.
2. වි. එක් වැනි; එක සේ; සමාන; ඒකාකාර.

එකබහ

(කථා.) නා. එක ම වචනය; එක ම අදහස.

එකමුතු

වි. එක්සත්; සමඟි.

එකමුතුබාන

(කථා.) නා. නගුලිස වියගහට සම්බන්ධකර බඳින ලණුව.

එකයුත්

වි. එකසමාන; ඒකාකාර.

එකර

නා. එගොඩ; එතෙර; මූදෙන් එතෙර.

එකරඟ

ක්‍රි.වි. ඒකාකාරයෙන්; දිගට ම; නොනැවතී.

එකරත

වි. නිතර; අනවරත.

එකරුත

[එක + අරුත]
නා. (ව්‍යාක.) එකක් පිළිබඳ ව පැවසෙන අරුත; ඒකාර්ථය; ඒකවචනය.

එකලස

1. නා.ප්‍ර. පිළියෙල කොට තැබීම; සැකසුම.
2. (පාරිභා.) නා.ප්‍ර. යන්ත්‍රයක එකිනෙකට පූට්ටු කළ කොටස් සමූහය.

එකලස්භාෂා

(පාරිභා.) නා.ප්‍ර. පරිගණකයට විධාන දීම සඳහා ඉංග්‍රීසි අක්ෂර යොදා ගනිමින් නිර්මාණය කරන ලද භාෂා රටාව (=assembly language).

එකලා

වි. තනි; හුදකලා; ආශ්‍රයෙන් හෝ සහයෝගයෙන් හෝ සම්පූර්ණයෙන් වියුක්ත.

එකලු

වි. (සෑම තැනම) එක සේ ආලෝක වූ; ඒකාලෝක.

එකසර

වි. එකලා ව හැසිරෙන; තනි ව ජීවත් වන; ඒකචාරී.

එකසරණ

නා. තනි ව හැසිරීම; හුදකලා චරණය.

එකසරි

වි. එක් වැනි; සමාන.

එකස් කරනවා

ක්‍රි. (සිවුරක් හෝ සළුවක්) එක් උරයක් පමණක් වසා පොරොවනවා; ඒකාංස කරනවා.

එකසැටිය

නා. සමාන බව; නොවෙනස් ආකාරය; සාරූප්‍යය.

එකසිත්

වි. දෙසිතක් නැති; ස්ථිර; නොවෙනස්.

එකසී

1. ක්‍රි.වි. එක සේ; ඒකාකාරයෙන්.
2. ක්‍රි.වි. එකහෙළා; ඒකාන්තයෙන්.
3. ක්‍රි.වි. සමූහයක් වශයෙන්; රාශියක් වශයෙන්.

එකහඬින්

ක්‍රි. එක ම ශබ්දයෙන්; ඒකමතිකව.

එකහිත්

වි. දෙ සිතක් නැති; ස්ථිර; නොවෙනස්.

එකහිරවරණ

නා. ඒකච්ඡත්‍රය; එක ම ආඥාවකින් පාලනය කිරීම; එක ම රජකුගේ පාලනය.