සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 358

එප්සම් ලුණු

නා. මැග්නීසියම් සල්පේට් නම් ලුණු (=epsom salt).

එපිට

නා.ප්‍ර. ඈත; දුර බැහැර; එහා.

එපිඩයස්කෝපය

(පාරිභා.) නා. විනිවිද පෙනෙන හෝ නොපෙනෙන වස්තුවල ප්‍රතිබිම්බ ප්‍රක්ෂේපණය කළ හැකි ප්‍රකාශදීපයක් (=epidiascope).

එපිපියාව

(පාරිභා.) නා. ඇතැම් කවචයින් බිත්තර ආරක්ෂා කරනු පිණිස රැකුම් මඩියේ කොටසක් ඝන වීමෙන් සෑදෙන පෑදලයක හැඩයෙන් යුක්ත වූ අවයවය (=ephippium).

එපිස්කෝපය

(පාරිභා.) නා. ඉතා ආලෝකවත් කළ පාරාන්ධ වස්තුවක විශාලිත ප්‍රතිබිම්බයක් තිරයක් මතට ප්‍රක්ෂේපණය කළ හැකි ප්‍රක්ෂේපණ දීපයක් (=episcope).

එබ

නා. දියවළ; දිය කඩිත්ත; හෙබ.

එබනයිට්

නා.ප්‍ර. රබර් හා ගෙන්දගම් මිශ්‍ර කර සාදන ද්‍රව්‍යය; තද රබර් (=ebonite).

එබන්ද

නා. එබඳු දැය; එවැනි දෙය.

එබැවින්

ක්‍රි.වි. එනිසා; එසේ හෙයින්; එහෙයින්.

එබිකම

නා.ප්‍ර. හොරෙන් බැලීම; හැංගි හොරා බැල්ම; සෝදිසිය.

එබිකම් කරනවා

ක්‍රි. (දොර කවුළු ආදියෙන්) පරීක්ෂාවෙන් බලනවා; හොරෙන් හැංගී බලනවා.

එබෙනවා

1. ක්‍රි. ඇතුළට කිඳා යනවා; යටට ගිලී යනවා.
2. ක්‍රි. නැති වී යනවා; යටපත් වෙනවා.
3. ක්‍රි. හොරෙන් බලනවා; එබිකම් කරනවා.

එම

වි. ඉහත සඳහන් කරන ලද්ද; පූර්වෝක්තය.

එමට

ක්‍රි.වි. එපමණට; බොහෝ සේ; සුලභව; හුඟක්.

එමතු

වි. එවිතරක්; එපමණකුත්.

එම්ප්‍රදෝරු

නා.ප්‍ර. අගරජ; අධිරාජයා.

එම්බල

1. නි. පින්වත; භවත්නි; ඉදිරිපිට සිටින අයකු ගෞරවාන්විතව ඇමතීමට යෙදේ.
2. නි. ඒයි; බොල; ඉදිරිපිට සිටින අයකු පහත් ලෙස ඇමතීමට යෙදේ.

එම්බ්‍රොයිඩර්

නා.ප්‍ර. නූල්වලින් රෙදිවල කරන විචිත්‍ර මැහුම් වැඩ; සැරසිලි මැහුම් (=embroidery).

එමීර්වරයා

නා. සමහර මුස්ලිම් රටවල ප්‍රාන්තයක පාලකයා හැඳින්වීමට යොදන නම.

එයරියලය

(පාරිභා.) නා. විද්‍යුත් චුම්බක තරංග ලබා ගැනීම හෝ නිකුත් කිරීම පිණිස විවෘතව යොදා තිබෙන කම්බිය; ගුවන් කම්බිය (=aerial).

එරමිණිය ගොතනවා

ක්‍රි. කකුලෙන් කකුල ගොතා වාඩි වෙනවා.

එරවණ

නා.ප්‍ර. ශක්‍ර දේවේන්ද්‍රයාගේ ඇතාගේ නාමය.

එරිකෝලය

නා. තෝමරය; හෙල්ල.