සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 359

එරිස්සලය

නා. නොරිස්සුම්කම; තරහ යන ගතිය.

එරිස්සාව

(කථා.) නා. ඉරිසියාව; ඊර්ෂියාව.

එරුණුහස්

නා.ප්‍ර. හංසයා එරුණු තැන හෙවත් විල; තඩාගය.

එරුම්කඩ

නා. කුඹුරක එරෙන තරම් මඩ සහිත ප්‍රදේශය.

එරෙට්ටු

(කථා.) නා.ප්‍ර. විරුද්ධත්වය; අමනාපය; තර්ජනය.

එරෙනවා

1. ක්‍රි. යටට බසිනවා; මඩ වතුර, රශ්මි ආදියෙහි නිමග්න වෙනවා.
2. ක්‍රි. (මුල්) යටට ඇදෙනවා; (අල) බහිනවා.
3. ක්‍රි. පියයුරුවලට හෝ බුරුල්ලට කිරි එරෙනවා.
4. ක්‍රි. අමාරුවේ වැටෙනවා.

එරෙප්සින්

(පාරිභා.) නා.ප්‍ර. ආන්ත්‍ර යුෂයෙහි අන්තර්ගත එන්සයිමයක් (=erepsin).

එරෙහි වෙනවා

ක්‍රි. කෝප වෙනවා; අමනාප වෙනවා; විරුද්ධ වෙනවා.

එලඳ කද

(කථා.) නා. මනමාලිය කැඳවාගෙන ඒමට යන විට මනමාලයා විසින් මනමාලියන්ගේ ගෙදරට යවනු ලබන කෑම රසකැවිලි ආදිය අඩංගු කදමල්ල.

එලවසම

(කථා.) නා. තරාතිරම; පංතිය.

එලවේසමේ

(කථා.) ක්‍රි.වි. හිරිහැරයක් නොමැතිව; පහසුවෙන්; නොමිලේ; වියදමක් නොමැතිව.

එල්නිනෝ

(පාරිභා.) නා.ප්‍ර. වෙරළ ආශ්‍රිත ව තාවකාලික ව ඇති වන උණුසුම් ජල ප්‍රවාහයක නාමය; ලෝකයේ විවිධ රටවල විවිධ ආකාරයෙන් කාලගුණික හා දේශගුණික බලපෑම් ඇති කරන සංකීර්ණ ක්‍රියාවලියක් (=el nino).

එල්බ ගන්නවා

1. ක්‍රි. එල්ලී සිටිනවා; (තදින්) අල්ලා ගන්නවා; ඇලී සිටිනවා.
2. ක්‍රි. (යම් මතයක) ස්ථිර ව පිහිටා සිටිනවා.

එල්බෙනවා

ක්‍රි. එල්ලෙනවා; අවලම්බනය වෙනවා; එල්ලී සිටිනවා.

එල්ල කරනවා

1. ක්‍රි. යම් අවියක් ඉලක්කයට යොමු කරනවා; කුරුමානම් අල්ලනවා; යම් පිරිසක් හෝ ක්ෂේත්‍රයක් කෙරෙහි අවධානය යොමු කරනවා.
2. ක්‍රි. පෙළට තබනවා.
3. ක්‍රි. යොමු කරනවා; (චෝදනාවක්) ඉදිරිපත් කරනවා.

එල්ලනවා

1. ක්‍රි. ඉහළ සිට පහළට ලම්බනය වන සේ තබනවා; කොකු ආදියෙන් පහළට ලම්බනය වන සේ අමුණනවා; අවලම්බනය කරනවා.
2. ක්‍රි. මරණීය දඬුවමක් වශයෙන් ගෙල තොණ්ඩුවකින් තද කොට එල්ලනවා; එල්ලා මරනවා.

එල්ලය

1. නා. අරමුණු කර ගත් තැන; ඉලක්කය; කුරුමානම.
2. නා. ඉදිරිය;ඉස්සරහ.

එල්ලා මරනවා

ක්‍රි. ගෙලෙන් එල්ලා මරණයට පමුණුවනවා.

එල්ලුම්ගස

නා. මරණීය දඬුවමට නියමවූවන් එල්ලා මරණයට පත් කිරීම සඳහා උපයෝගි කරගන්නා වධෝපකරණය; පෝරකය.

එල්ලෙනවා

1. ක්‍රි. ආලම්බනය වෙනවා; එල්වෙනවා.
2. ක්‍රි. කඹයකින් හෝ ලණුවකින් තොණ්ඩුවක් ගෙලට දමා එල්ලී හුස්ම හිර කරගෙන සියදිවි හානිකර ගන්නවා.

එලී ගන්නවා

ක්‍රි. (යමක) එල්ලී සිටිනවා; එල්බෙනවා.

එලෙනවා

1. ක්‍රි. පහතට එල්ලෙනවා; එල්බෙනවා.
2. ක්‍රි. එල්ලී සිටිනවා; ඇලී සිටිනවා.
3. ක්‍රි. සැඟවෙනවා; නිලීන වෙනවා.

එලොව

නා. මරණින් මතු උපදින ලෝකය; පරලොව.

එලොවපොල් පෙනෙනවා

ක්‍රි. මරණය සිහි වන තරම් වේදනාවකට පත් වෙනවා; සිහිවිකල් ව මෙන් කටයුතු කරනවා.