සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 360

එවක

ක්‍රි.වි. ඒ කාලයෙහි; ඒ යුගයෙහි; ඒ සමයෙහි.

එව්

නි. මෙන්; සේ; වැනි; සමාන.

එවිගස

ක්‍රි.වි. එවේලේ ම; එකෙණෙහි ම; ඒ ක්ෂණයෙහි.

එවිතර

නා. ඒ තරම; ඒ ප්‍රමාණය; එපමණ.

එසඳ

ක්‍රි.වි. එකල්හි; ඒ කාලයෙහි; ඒ අවස්ථාවෙහි.

එසේ මෙසේ

වි. සාමාන්‍ය; සාමාන්‍ය ප්‍රමාණයේ වූ; සුළුපටු.

එහාමෙහා කරනවා

ක්‍රි. (තුබූ) තැන වෙනස් කරනවා; ඉවතට ගෙන යනවා.

එහිලා

නි. ඒ පිළිබඳ ව; ඊට සම්බන්ධ කොට; එයට ඇතුළත් කොට.

එහෙත්

නි. එසේ ද වූවත්; එහෙම වුණත්.

එහෙම

ක්‍රි.වි. ඒ ආකාරයෙන්; ඒ ලෙසින්.

එහෙවු

වි. එසේ වූ.

එළ

1. වි. සුදු; ධවල; සුදුමැලි.
2. වි. පිරිසිදු; ශුද්ධ.
3. වි. සිංහල; දේශීය ගවයන් පිළිබඳව යෙදේ.
3. වි. එළුවා.

එළ කරනවා

ක්‍රි. සුදු කරනවා; පිට පොත්ත හෝ ලෙල්ල ඉවත් කිරීමෙන් ශුද්ධ කරනවා; පොතු අරිනවා; (හාල් ආදිය) පාහිනවා.

එළකිරි

නා.ප්‍ර. එළදෙනුන් ගෙන් ලැබෙන කිරි.

එළඟිතෙල්

නා.ප්‍ර. එළදෙනුන්ගේ කිරෙන් ලබා ගන්නා තෙල්.

එළනවා

1. ක්‍රි. පහතට දමනවා; හෙළනවා.
2. ක්‍රි. පැදුරු ආදිය අතුරනවා; දිග අරිනවා.
3. (කථා.) ක්‍රි. පහරක් ගසනවා.

එළඹෙනවා

ක්‍රි. ළගට එනවා; සමීපයට පැමිණෙනවා; ළඟා වෙනවා.

එළය

නා. ගසක කඳක් තුළ ඇති විය හැකි නිසරු බුරුල් දැව කොටස.

එළලනවා

ක්‍රි. (රෙදි ආදියෙහි වූ සිදුරු හෝ ඉරුණු තැන්) ඉදිකටුවකින් දිග හා හරස් අතට නූල් ඇද මසනවා.

එළලු

වි. සුදට හුරු පාටැති; පාණ්ඩු වර්ණ වූ.

එළවනවා

1. ක්‍රි. පලවා හරිනවා; පන්නනවා.
2. ක්‍රි. පසුපස ලුහුබඳිනවා.
3. ක්‍රි. වාහනයක් පදවනවා; (රියක්) හසුරුවනවා.
4. ක්‍රි. ඉදිරිපිටට පමුණුවනවා.
5. ක්‍රි. (සිහි) උපදවා ගන්නවා; ඇති කර ගන්නවා.
6. ක්‍රි. ගෙන දෙනවා; ලබා දෙනවා; සලසනවා.
7. (කථා.) ක්‍රි. ගලවා දමනවා; ඉවත් කරනවා.

එළවළු

නා.ප්‍ර.බහු. ව්‍යංජන පිණිස ගන්නා කොළ, ගෙඩි, මල්, කරල් ආදිය සහිත ශාක.

එළව්ව

නා. මළගෙය; ඉලව්ව.

එළා ගන්නවා

1. ක්‍රි. (පැදුරු, මාගල්, බුමුතුරුණු වැනි දේ) බිම අතුරා ගන්නවා; දිග හැර ගන්නවා.
2. ක්‍රි. යටත් කර ගන්නවා; සතකු මරා ගන්නවා; බිම පෙරළා ගන්නවා.