සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 361

එළි

1. වි. පිරිසිදු; ශුද්ධ.
2. වි. සුදු; ශ්වේත.
නා.ප්‍ර. ආලෝක; පහන්.

එළි අත්ත

නා. ගිනිහුළ; හුළුඅත්ත.

එළි කතර

නා. (ගස්කොළන් ආදියෙන් තොර) විවෘත භූමිභාගය; එළිමහන් ප්‍රදේශය.

එළි කරනවා

1. ක්‍රි. ආලෝක කරනවා; ප්‍රභාසම්පන්න කරනවා.
2. ක්‍රි. ශුද්ධ කරනවා.
3. ක්‍රි. (සැඟවුණු යමක්) එළිදරවු කරනවා; අනාවරණය කරනවා; ප්‍රකාශයට පත් කරනවා.
4. ක්‍රි. පසු දා පහන් වනතුරු රාත්‍රිය ගත කරනවා.

එළි පහළි

වි. ගස් කොළන්, වල් පැළෑටි ආදියෙන් තොර; ආවරණය නොවූ; විවෘත වූ; එළි කරන ලද.

එළි බස්සනවා

1. ක්‍රි. පිටතට පමුණුවනවා.
2. ක්‍රි. මල්වර වීමෙන් පසු ගැහැනු ළමයා ඉසදිය නෑවීම පිණිස එළියට කැඳවාගෙන එනවා.

එළි බහිනවා

1. ක්‍රි. එළියට එනවා; පිටතට එනවා; අනාවරණය වෙනවා; එළිදරවු වෙනවා; ප්‍රකට වෙනවා.
2. ක්‍රි. මල පහ කරනවා; ශරීර කෘත්‍යය කරනවා.

එළිච්චි

(කථා.) නා.ප්‍ර. එළු දෙන; එළිස්සී.

එළිදරවු කරනවා

ක්‍රි. හෙළි කරනවා; අනාවරණය කරනවා; ප්‍රකට කරනවා.

එළිපත

1. නා.ප්‍ර. උළුවස්සක් පාමුල දොරට යටින් පවතින පඩිය; උළුවහු පඩිය; කාමරයක දොර පඩිය.
2. නා.ප්‍ර. කවුළුවක පහත පිහිටි පඩි කඳ; ජනෙල් පඩිය.

එළිපහළිය

1. නා. නිසි පිළිවෙළ; මනා සැකසුම; ශෝභනබව; නිමාව.
2. නා. එළිමහන.

එළිපිට

1. ක්‍රි.වි. ප්‍රකට ලෙස; ප්‍රසිද්ධියේ.
2. ක්‍රි.වි. ඉදිරිපිට; නොසඟවා.
3. ක්‍රි.වි. මතුපිට; උඩින්.

එළිමහන්

වි. විවෘත; ගෙයින් පිට; ආවරණයක් නැති.

එළිය

1. නා. ආලෝකය; ප්‍රභාව; සූර්යාලෝකය.
2. නා. අවකාශය; එළිමහන; බැහැර; ගෙයින් පිටත.
3. නා. පද්‍යයක පාදවල මුල, මැද, අග ආදි වශයෙන් සමාන අකුරු යෙදීම; එසේ යෙදූ තැන.
4. නා. එළිපත; ගෘහද්වාරය.
3. නා. ඔඩොක්කුව; ඉණ.
6. නා. එළදෙන.

එළිය කූඩුව

නා. ඇතුළත එළි දැල්විය හැකි වෙසක් සැරසිලි විශේෂයක්; වෙසක් කූඩුව.

එළිය වැටෙනවා

ක්‍රි. උදෑසන සූර්යාලෝකය ඇති වෙනවා; හිරු උදාවෙන් ආලෝකවත් වෙනවා; පහන් වෙනවා.

එළිවැට

නා. සිවුපදයක පද සතරෙහි යෙදෙන එක සමාන අකුරු පෙළ.

එළිසමය

නා. පද්‍යයක පාදයන්ගේ මැද හෝ අග සමාන අකුරු යෙදීම.

එළු

නා.ප්‍ර. එළු බස.

එළු කරනවා

ක්‍රි. වෙනත් බසකින් හෙළ බසට හෙවත් සිංහලයට නඟනවා; එළුවට පරිවර්තනය කරනවා.

එළුතපස්

නා.ප්‍ර. එළුවකුගේ පැවතුම්වලට සමාන පැවතුම් ඇති තපස්චර්යාව; අජව්‍රතය.

එළුබණ

නා. සිංහලයෙන් දේශනා කරන ලද (හෝ ලියන ලද) බුද්ධ ධර්මය.

එළුබස

නා. සිංහල භාෂාව; ශුද්ධ සිංහල භාෂාව.

එළුරවුළ

නා. යටි රැවුළ; (එළුවකුගේ වැනි) නිකටෙහි පිහිටි කුඩා රැවුළ.