සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 357

එඩිදර්ප

නා.ප්‍ර. එඩියෙන් යුත් දර්පය; නිර්භීතකමින් ඇති වූ ගර්වය.

එඩිය

නා. ගර්වය; දර්පය; වික්‍රමය; තේජස.

එඬේර ගොටුව

(කථා.) නා. ගොපලු සමයමේ දී ගොපලු යක්ෂයා වෙනුවෙන් වෙන් කර ඇති පුද ගොටුව.

එඬේරා

නා.ප්‍ර. ගව මහීෂ, එළු බැටළු, ආදි සිවුපා සතුන් බලා ගන්නා තැනැත්තා.

එතර

නා. ඒ තෙර; එගොඩ; පාරිම තීරය; විදේශය.
1. ක්‍රි.වි.ඒ ඇසිල්ලෙහි; ඒ ක්ෂණයෙහි; එවිගස.
2. ක්‍රි.වි.ඉක්බිති; තදනන්තර ව; එකල්හි.

එතරණ

නා.ප්‍ර. බැස ගැන්ම; පිවිස ගැන්ම; ආරම්භය; ප්‍රවේශය.

එතිල් ඇල්කොහොල්

(පාරිභා.) නා.ප්‍ර. ඇල්කොහොල් නමින් හැඳින්වෙන කාබනික සංයෝග කාණ්ඩයට අයත් වැදගත් සංයෝගයක් (=ethyl alcohol).

එතිලීන්

(පාරිභා.) නා.ප්‍ර. ඔලෙෆින් නමින් හැඳින්වෙන කාබනික සංයෝග ශ්‍රේණියේ මුල් සංයෝගය වන වායුවක් (=ethylene).

එතෙර කරනවා

1. ක්‍රි. ජලාශයකින් එගොඩ කරනවා.
2. ක්‍රි. (සසර දුකෙන්) එතෙර කරනවා; පාරිමතීරයට පමුණනවා.

එද්දලයා

1. (කථා.) නා. මිත්‍රයා.
2. නා. අමුත්තා.
3. නා. මස්සිනා.
4. නා. සොර සැමියා.

එදෑතුර

නා. සිද්ධි දෙකක් අතර කාලය.

එදිරි

වි. විරුද්ධ; සතුරු.

එදිරි පිරිමහනවා

(කථා.) ක්‍රි. පළි ගන්නවා; එකට එක කරනවා.

එදිරිපහුව

(කථා.) නා. වැරැද්ද; ප්‍රමාද දෝෂය.

එදිරිවාදුකම්

නා.බහු. විරුද්ධකම්; සතුරුකම්; අමනාපකම්.

එන

1. වි. පැමිණෙන; ආගමනය කරන; මතු සිදුවන.
2. වි. ඇති වන; පැන නඟින.
3. වි. වෑහෙන; ගලන්නා වූ.
4. වි. ඊළඟ; ලබන; ඉදිරි;

එනමල්

1. (පාරිභා.) නා.ප්‍ර. ලෝහ, මැටි භාණ්ඩ, වීදුරු ආදියෙහි මතුපිට ආලේප කරන එනැමල් පෝරණුවෙහි පුළුස්සා ගනු ලබන කාචමය ද්‍රව්‍යයක්; ඉනැමල්.
2. නා.ප්‍ර. අපිචර්මීය ආවරණයක් ඇති දත්වල ද ඇතැම් කොරල්වල ද තිබෙන බාහිර චූර්ණමය ස්තරය.

එනම්

නි. හරියට ම කියතොත්; ඒ වනාහි.

එන්ජිම

(පාරිභා.) නා. කිසියම් ශක්ති විශේෂයක් අනෙක් ශක්ති විශේෂයක් බවට විශේෂයෙන් ම තාපය යාන්ත්‍ර ශක්තිය බවට පරිවර්තනය කිරීමේ මෙවලම (=engine).

එන්තරවාසිය

නා. ණය ආපසු ගෙවන ලෙස දන්වා නීතීඥයකු මගින් ණයකරු වෙත නියෝග කර යවන ලියවිල්ල.

එන්නත

නා.ප්‍ර. ඇතැම් බෝවන රෝග වැළැක්වීමට ශරීරගත කරන ඖෂධය; වැක්සීනය.

එන්නත් කරනවා

ක්‍රි. එන්නත් ශරීරගත කරනවා; බේත් විදිනවා; අත් විදිනවා.

එන්සයිමය

(පාරිභා.) නා. සජීවී සෛල මඟින් නිපදවනු ලබන ප්‍රෝටීනමය කාබනික උත්ප්‍රේරකය.

එන්සල්

නා. සුවඳැති කරල් හට ගන්නා පැළැටියක්; කරදමුංගු.

එපලඟ

වි. ඒ ලෙසින්; ඒ ආකාරයෙන්.