සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 38

අටවිය

නා. මහා කැලෑව; ආරණ්‍යය; වන ප්‍රදේශය; අඩවිය.

අටවිසි නැකැත්

නා.ප්‍ර. චන්ද්‍රයා ගමන් කරන වලයාකාර පථයෙහි පිළිවෙළින් පිහිටි පංති විසි අට.

අටවිසි පිරිත

නා. අටවිසි බුදුවරයන් වහන්සේලාගේ නම් සඳහන් පිරිත් ගාථා සමූහය.

අටවිසි බුදුහු

නා.බහු. තණ්හංකර බුදුරජාණන් වහන්සේ පටන් ගෞතම බුදුරජාණන් වහන්සේ තෙක් ලොව පහළ වූ බුදුවරයන් විසි අට නම.

අටවිසි බෝධි

නා.බහු. අටවිසි බුදුවරයන් වහන්සේලා පිට දුන් වෘක්ෂ විසි අට හඳුන්වන නාමය.

අටස්

1. නා.ප්‍ර. ඇස් අටක් ඇත්තා; මහා බ්‍රහ්මයා.
2. නා.ප්‍ර. අට පැත්තකින් යුක්ත වූව.
3. නා.ප්‍ර. උතුමකු ඉදිරියේ සිට කතා කිරීමේ දී නොසිටිය යුතු පැති අට.
වි. පැති අටක් ඇති; අට පට්ටම්.

අටසිල්

නා.ප්‍ර. ශික්ෂාපද අටකින් යුත් ගිහි ශීලය.

අටළොස

නා. දහ අට; අෂ්ටා දශය.

අටළොස් ආවේණික ධර්ම

නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේලාට ම හිමි ගුණ දහ අට; සර්වඥ ස්වභාව අටළොස.

අටළොස් කුලය

1. නා. දෙවන පෑතිස් රජු කල දක්ෂිණ බෝධි ශාඛාව දඹදිව සිට වැඩමවාගෙන ඒ දී එහි ආවතේව කටයුතු පිණිස ධර්මාශෝක රජු විසින් එවනු ලැබූ ජන සමූහය.
2. නා. අතීතයේ දී විවිධ කර්මාන්ත පවත්වා ගෙන යෑම පිණිස බැඳී සිටි ජන කණ්ඩායම් හැඳින්වූ නාමය.

අට්ට ගැහෙනවා

ක්‍රි. වේළෙනවා; කර වෙනවා.

අට්ටම

නා. පැත්ත; අංශය; පාර්ශ්වය.

අට්ටල

නා. හිරිහැරය; වෙහෙස.

අට්ටවාලය

1. නා. වහලයක ආධාරක වශයෙන් ඇති කුරුපා, බාල්ක ආදියෙන් යුතු කොටස.
2. නා. වහලයක මුදුන් යටලීය හා බිත්ති යටලීය අතර කොටසෙහි යොදන යටලීය; මැද යටලීය (=purlin).

අට්ටාලය

1. (පාරිභා.) නා. උස් කොට තැනූ මුරගෙය; හාත්පස පෙනෙන සේ උස් තැනක ඉදි කළ තාවකාලිකව තැනූ කූටිය; ආරක්ෂක කුටිය.
2. නා. (හේන් රැකීම් සතුන් දඩයම් කිරීම් ආදිය සඳහා) ගස් උඩ තැනූ පැල.
3. නා. යමක් තාවකාලිකව තැන්පත් කර තැබීමට සුදුසු මැස්ස.

අට්ටිය

(කථා.) නා. කිසියම් දෙයක් පිළිවෙළකට, පේළි හා තට්ටු වශයෙන් අසුරා සකස් කරන ගොඩ.

අට්ඨ

1. නා.ප්‍ර. අට හැඳින්වෙන සංඛ්‍යාව.
2. නා.ප්‍ර. අරුත; සංඛ්‍යාව.

අට්ඨ කථාව

නා. ත්‍රිපිටක පාළියෙහි පද සඳහා කළ අර්ථ වර්ණනාව.

අට්ඨ කල්ප

1. නා.ප්‍ර. කල්ප අටක කාලය.
2. නා.ප්‍ර. නිරයක නාමය.

අට්ඨංග

වි. අවයව අටක් ඇති; අංග අටකින් යුක්ත.

අට්ඨක

නා.ප්‍ර. අටකින් සැදුණු ගොඩ; අටකින් යුත් රාශිය.

අට්ඨාරස

නා.ප්‍ර. දහ අට; අටළොස.

අට්ඨි කල්‍යාණය

නා.ස්ත්‍රීන්ගේ රූපශ්‍රීය පිළිබඳ පඤ්චකල්‍යාණයෙන් එකක් වන ප්‍රභාසම්පන්න වූ දන්ත පන්තීන් ඇති බව.

අට්ඨික

වි. ශරීරයෙහි ඇට පිළිබඳ වූ.