සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 383

ඕපරාශි

නා.බහු. (ජ්‍යෝති.) රාශි චක්‍ර; ඔත්තේ රාශි (මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු සහ කුම්භ).

ඕපාත

1. නා. ඔයක පහළ පෙදෙස අවට වූ බිම් කොටස
2. නා. වළ; ආවාටය.

ඕබඩ

නා. ඔයබඩ; ඔය අසල; ඔය පෙදෙස.

ඕබොලය

නා. පැරණි ග්‍රීකයන් කාසි නිපදවීමට පදනම් සේ ගත් ග්‍රේන් 11.2 ක හෙවත් ඩිරෑම් 1/6 ක බර ප්‍රමාණය.

ඕභාසය

නා. ආලෝකය.

ඕමත්ත

නා. ඔයක ඉහළ ප්‍රදේශය.

ඕමය

(පාරිභා.) නා. විද්‍යුත් ප්‍රතිරෝධය මැනීමේ ප්‍රායෝගික ඒකකය.

ඕම්කාරය

නා. වේද මන්ත්‍ර කීම ආදිය ආරම්භයෙහි දී බමුණන් විසින් කියනු ලබන ප්‍රණාම සංඛ්‍යාත සිද්ධි අක්ෂරය හඳුන්වන නාමය.

ඕම්මීටරය

නා. විදුලි පරිපථයක ප්‍රතිරෝධය මනින උපකරණය.

ඕමාරය

1. නා. ජලය ගැලීමෙන් කුඹුරක රොන්මඩ එක්රැස් වන පහත පෙදෙස.
2. නා. වතුර බැස යන අගල් සහිත බිම් පෙදෙස.

ඕර

1. නා. යට භාගය; පහත කොටස.
2. නා. උදරය ඇතුළ.

ඕරප්පුව

(කථා.) නා. අනාථ වූ දරුවන් හදන වඩන තැන; අනාථ දරු නිවාසය.

ඕරමණය

නා. බැහැර කිරීම.

ඕරම්

1. නා.ප්‍ර. පුරසාරම්; කටමැත.
2. (කථා.) නා.ප්‍ර. පැත්ත; අංශය.

ඕරම් වෙනවා

(කථා.) ක්‍රි. අයින් වෙනවා; පැත්තකට වෙනවා.

ඕරම්කරනවා

(කථා.) ක්‍රි. ඔළුව පැත්තකට හරවා ඇන ගැනීමට සැරසෙනවා; පොරට අර අඳිනවා.

ඕරම්බානවා

(කථා.) ක්‍රි. පුරසාරම් කියනවා; කටමැත දොඩවනවා.

ඕර්ගන්

නා.ප්‍ර. විවෘත වූ ද විවිධ ප්‍රමාණයේ දිග ඇති නළ ගණනින් යුක්ත තූර්ය භාණ්ඩයක නාමය.

ඕරාව

(කථා.) නා. මව් පිය ආදි පරම්පරාවකට විශේෂ වූ ලක්ෂණය; ප්‍රවේණි ලක්ෂණය; ආරය.

ඕරියෝල්

(පාරිභා.) නා.ප්‍ර. ආක්‍රාන්ත පාෂාණ ස්කන්ධයක් වටා තිබෙන විපරීත භාවයට පැමිණි පාෂාණ වලය; විපරීතවලය (=metamorphic aureole).

ඕරෝහණය

නා. (අහසින්) බැසීම; (යමක් තුළට) බැස ගැන්ම; අවතරණය.

ඕලක්කම

නා. (රාජකීය හෝ පූජාර්හ පුද්ගලයන් විසින් දෙනු ලබන) සම්මුඛ දර්ශනය; බැහැදැකීම.

ඕලම්බ

වි. එල්ලෙන; අවලම්බනය වන.

ඕලෑව

(කථා.) නා. ජලයෙන් යටවන පහත් බිම.