සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 393

කටින් කට

ක්‍රි.වි. මුඛ පරම්පරාවෙන්; එක කටකින් තවත් කටකට.

කටිභාර

නා.ප්‍ර. උකුළෙන් උසුලා යා හැකි පමණ බර; ඉඟෙන් දරාගෙන යන බර.

කටිය

නා. උකුළ; තුනටිය; ශ්‍රෝණිය.

කටිසජ්ජනාව

නා. මෙවුල්දම.

කටී පේශිය

(පාරිභා.) නා. ශ්‍රෝණිය හා සම්බන්ධ මාංශපේශිය (=lumbar muscle).

කටී සන්ධිය

නා. තුන් ඇට සන්ධිය; තුනටිය.

කටීවාතය

නා. තුනටියේ රුදාව; ශ්‍රෝණි භේදය.

කටු

1. වි. කටුක රසය ඇති; කර්කශ.
2. වි. රළු; චණ්ඩ; අප්‍රසන්න.
3. වි. උල් සහිත; ඇනෙනසුලු.
1. නා.ප්‍ර. කටුක රසය.
2. නා.ප්‍ර. ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි යන තුන් වර්ගය; තිකුළු.
3. නා.ප්‍ර. දැව; ලී.

කටු අකුරු

(කථා.) නා. නොපැහැදිලි අකුරු; කියවීමට අපහසු වැල් අකුරු.

කටු කැත්ත

(කථා.) නා.ප්‍ර. කැලෑ එළි කිරීමට ගන්නා මිට දිග කැත්ත.

කටු කැලය

නා. කටු පඳුරු සහිත කැලෑ ප්‍රදේශය.

කටු කුටුව

(කථා.) නා. රහසේ හෙමින් කරන කතාව; කසුකුසුව.

කටු ගහනවා

1. ක්‍රි. කොඩිවින කිරීමේ දී සතුරාගේ රූපයට හෝ පාසටහන් ආදියට කටු ඇන තබනවා.
2. ක්‍රි. ගස කඳ වටා කටු අතු දවටනවා; කටු (අතු) බඳිනවා.
3. ක්‍රි. කටුචිකිත්සා ක්‍රමය අනු ව රෝග සුව කිරීම සඳහා ශරීරයේ ඇතැම් නියමිත ස්ථානවල ලෝහමය කටු ගහනවා.
4. (කථා.) ක්‍රි. අනුන්ගේ දියුණුවට අකුල් හෙළනවා.

කටු ගානවා

ක්‍රි. ලියන ලද යමක් ඉරිගසා කලා දමනවා; (ලේඛනයෙන්) ඉවත් කරනවා; අවලංගු කරනවා.

කටු ගැස්ම

(කථා.) නා.ප්‍ර. රෙදි විවීමේ දී ඉත්තා වැදීම හෝ නූල කැඩීම හෝ නිසා ඇති වන වැරදි හෝ විෂම වියමන.

කටු දෙබල

නා. කුණු රොඩු ඉවත් කිරීමට ගැනෙන්නා වූ ද, එක් කෙළවරක උල් වූ කරුවක් ඇත්තා වූ ද රිට.

කටු පීප්පය

නා. වරදකරුවන් බහා පෙරළා දැමීමෙන් ඔවුන්ට දඬුවම් දීම සඳහා අතීතයෙහි භාවිත කළ ඇතුළත සවිකරන ලද උල් ඇති පීප්පයක්.

කටු බඳිනවා

(කථා.) ක්‍රි. පොල් ගස් ආදියෙහි කඳ වටා කටු අතු දවටනවා.

කටු වඩුවා

නා. ලී වඩුවා; දැව කර්මාන්තකාරයා.

කටු වැට

නා. කටු පඳුරු ආදියෙන් සැදූ වැට.

කටු සැමිටිය

නා. කටු හෝ ගැට සහිත කසය; කටුමතිගාය.

කටු සිතියම

නා. සටහනක් වශයෙන් යන්තමින් අඳින ලද සිතියම; දළ සිතියම.

කටු ළැහැබ

නා.ප්‍ර. කටු පඳුරු ආදියෙන් යුත් කැලෑරොද.

කටුක

1. වි. කුළු රසින් යුත්; කර්කශ; අමිහිරි.
2. වි. නපුරු; රෞද්‍ර,
1. නා.ප්‍ර. කට දවන රසය; කුළු රසය.
2. නා.ප්‍ර. තිකුළු.