සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 394

කටුකම්බි

නා.ප්‍ර. අඹරන ලද දෙපොටක් අතරෙහි හරස් අතට උල් කොටස් ද අමුණා සාදා ගැනෙන කම්බි වර්ගය.

කටුකෂාය

නා.ප්‍ර. තද කහට රසයෙන් යුත් කෂාය.

කටුකොහොල්

1. නා.ප්‍ර. කැඩුම් බිඳුම්; නටබුන්.
2. නා.ප්‍ර. ජරාවාස වූ හෝ සුන්බුන් වූ තැන්.
3. නා.ප්‍ර. දාරයක හෝ තලයක ඇති වන කඩතොලු.
4. නා.ප්‍ර. කැරලි කෝලාහලය.
5. නා.ප්‍ර. කටු කැලෑව; කටු පඳුරු ආදියෙන් වැසීගිය වන රොද,

කටුගෙය

නා.ප්‍ර. කලාත්මක, සංස්කෘතික, විද්‍යාත්මක, වස්තූන් ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇති ගොඩනැඟිල්ල; කෞතුකාගාරය.

කටුගොයියා

1. (කථා.) නා. ගොයම් පෑගූ කමතකින් පිදුරු ආදි දේ ඉවත් කිරීම සඳහා සාදාගත් ඉදලක් වැනි උපකරණයක්.
2. නා. කටු බහුල කුඩා කරදිය මාළුවෙක්.

කටුපත

(කථා.) නා. කටු ගස් සහිත කැලය; කටු ළැහැබ.

කටුපතුල්

(කථා.) නා.ප්‍ර. ගැමියන්ගේ භාවිතය සඳහා මුවහම් ආදියෙන් සාදනු ලැබූ රළු පාවහන් විශේෂයක්.

කටුපන

(කථා.) නා. පන්වලින් වියා ගැනෙන ලොකු මලු විශේෂයක්.

කටුපහණ

නා.ප්‍ර. කුඩා ගල්කැට; බොරලු කැට.

කටුපැළැල්ල

1. නා. කටු අතු ආදිය එකකට එකක් ළං වන සේ පැළැල්ලක ආකාරයට බැඳ සාදාගත් දොර; කටුදොර; කණ්ටක ද්වාරය.
2. නා. කටුඋල් ආදිය ගසා සාදා ගත් පුවරු විශේෂයක්.

කටුපුලුල

නා. මහනුවර රාජ්‍ය සමයේදී රජුගේ හා අදිකාරම්වරුන්ගේ පණිවුඩ පනත් ගෙන යෑමත් අවශ්‍ය මිනිසුන් කැඳවීමත් සිය රාජකාරිය කොට ගත් නිලධාරී පිරිස.

කටුපොත

නා. කටුසටහන් ලියා තබන පොත.

කටුපෝර

නා. ගෙරිකටු ආදියෙන් සාදාගන්නා පෝර; ඇටපෝර.

කටුබැද්ද

නා. කටු සහිත ගස්වලින් ගැවසීගත් කැලය; කටුළැහැබ.

කටුබොරලු

නා.ප්‍ර. උල් සහිත රළු බොරලු.

කටුමාන

(කථා.) නා.ප්‍ර. කටු ඉපල් එකට තබා බැඳ කමතේ භාවිත කරනු සඳහා ගැනෙන ඉදල.

කටුමානත්ත

1. (කථා.) නා.ප්‍ර. කමතේ දී වීගොඩ අතුගා දමන ලද රොඩු.
2. නා.ප්‍ර. වී ගොඩේ ඇති රොඩු කටු මානත්තෙන් ඉවත් කළ අයට දිය යුතු වී කොටස.

කටුමාරම

(කථා.) නා. කටු රූප සටහන; දළ රූ සටහන.

කටුමැට්ට

නා. වරිච්චි බිත්තියක පළමුවෙන් ම ගානා ඔප මට්ටමෙන් අඩු මැට්ට.

කටුමැරැන්ද

1. (කථා.) නා. ඇටසැකිල්ල.
2. නා. කටුගොඩ; කටු සමූහය.

කටුමැස්ස

1. නා. අත්තකිලමථානු යෝගයෙහි යෙදෙන තවුසකු ශයනය කරන කටු උල් ආදිය ගසා සාදාගත් මැස්ස; කටු මංචකය.
2. (කථා.) නා. කට්ටඩීන් මන්ත්‍ර ජප කිරීම සඳහා හෝනා දළ මැස්ස.

කටුමුව

(පාරිභා.) නා. ආයුධයක කැපෙන පැත්ත; මුවාත.

කටුල්ල

නා.ප්‍ර. දුක; කනස්සල්ල.

කටුව

1. නා. ඇතැම් ශාකවල කඳ කොළ ආදියෙහි ද, ඇතැම් සත්ත්වයන්ගේ ගතෙහිද හටගන්නා තියුණු උල් සහිත උපාංගය.
2. නා. විදීමට සහ ඇමිණීමට ගැනෙන තියුණු උල.
3.නා. සත්ත්ව ශරීරයෙහි ඇති ඇටය.
4. නා. අබලන් වූ වාහනය; කබල.
5. නා. ඔරලෝසු, තරාදි ආදියෙහි වේලාව, බර ආදිය දක්වන ඉද්ද.
6. නා. ගොළුබෙලි, ඉදිබු ආදි සතුන්ගේ පිට වැස්ම; කබොල්ල.
7. නා. තල්, පොල් ආදි ගෙඩිවල මදයට පිටින් කොස් වැනි ඇතැම් ගෙඩි වර්ගවල කටු සහිත ව සම්පූර්ණයෙන් ම පිටින් ද පිහිටි තද ආවරණය.
8. නා. තුවාලයක මතුපිට සැදෙන කබොල්ල.

කටුව ගහනවා

(කථා.) ක්‍රි. යම්කිසි ක්‍රියාමාර්ගයකට බාධා කරනවා; අකුල් හෙළනවා; අවහිර කරනවා.