සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 392

කට්ටමූට්ටුව

නා. කට්ටයක් කපා වද්දන මූට්ටුව; පුලුක්කු මූට්ටුව; කප්පිලි මූට්ටුව.

කට්ටයා

නා.කපටියා; ප්‍රයෝගකාරයා.

කට්ටලය

1. නා. (එක කටයුත්තකට උපයෝගි කරගනු ලබන) උපකරණ හෝ ද්‍රව්‍ය සමූහය; එකට ගන්නා භාණ්ඩ සමූහය; ගොන්න.
2. නා. ජෝඩුව.
3. නා. පිරිස; කණ්ඩායම; සමූහයා.
4. නා. ප්‍රදේශය; කොට්ඨාසය.
5. නා. සීමාව; ප්‍රමාණය.

කට්ටාඩියා

නා. තොවිල් කරන්නා; යකැදුරා.

කට්ටි කඩනවා

ක්‍රි. ඉඩමක් කොටස් වශයෙන් බෙදා වෙන් කරනවා.

කට්ටි පනිනවා

1. (කථා.) ක්‍රි. කට්ටි පැනීම නම් ක්‍රීඩාවෙහි යෙදෙනවා.
2. අසු නොවී බේරී යනවා; මඟ හරිනවා; වරදක් කොට සැඟවෙමින් සිටිනවා.

කට්ටිය

1. (කථා.) නා. සමූහය; පිරිස; කණ්ඩායම.
2. නා. බිම් කොටස.
3. නා. ගොඩ දමන ලද පස් ඝන අඩි 100ක හෝ 108ක ප්‍රමාණය.
4. නා. වැව් බැම්මට පස් ගැනීම සඳහා හාරන ලද වළ.

කට්ටිවළ

1. (කථා.) නා. වැව් බැම්මක් සඳහා පස් ගත් වළ.
2. නා. නියං කාලයේ දී ගැනීමට ජලය රැස් කොට තැබීම සඳහා වැව් පත්ලේ සාරන ලද වළ.

කට්ටු මුට්ටුව

1. (කථා.) නා. කට හැරිය නොහැකි සේ හකු පූට්ටු වී දරදඬු වීම; හනුස්තම්භය.
2. නා. මලමූත්‍ර හිර වීම; මලමූත්‍ර බද්ධය; අඩස්සිය.
3. නා. කර කියා ගත හැකි දෙයක් නොමැති ව කලබල වීම.

කට්ටුව

1. නා. මිටිය; පොදිය.
2. නා. ඇඳුම්, ආභරණ ආදි එකතුව; කට්ටලය.
3. (කථා.) නා. ලියනු පිණිස බැඳගත් පුස්කොළ පත් ඉරු කලාපය.
4. නා. සමූහය; පිරිස; එකතුව.
5. නා. ජෝඩුව.
6. නා. වැව් බැම්ම; වැව් නියර.
7. නා. හිර වීම; තද වීම; අඩස්සිය.
8. නා. රට; ආණ්ඩුව; පාලනය.

කටාක්ෂ

නා.ප්‍ර. නෙතඟ බැල්ම.

කටාක්ෂ නික්ෂේපය

නා. නෙත් කොනින් බැලීම; නුවනග බැලුම් ලීම.

කටාක්ෂ නිරීක්ෂණය

නා. ස්ත්‍රී ලීලාවන්ගෙන් එකක් ලෙස සලකන ඇස් කොනින් බැලීම.

කටාරම

1. නා.ප්‍ර. ගල්ලෙන් තුළට වර්ෂා ජලය ගලා නොඑනු පිණිස ලෙන් දොරට උඩින් ගල අද්දර බේරන ලද ගැටිය.
2. නා.ප්‍ර. කට ලොකු භාජන; කල්දේරම.

කටාහකය

(පාරිභා.) නා. දණිස් කටුව (=patella).

කටාහය

1. නා. විශාල භාජනය; මහ හැළිය; කල්දේරම.
2. නා. හිස; දණහිස ආදියේ කබල; කටුව.
3. නා. කැස්බෑ කට්ට.
4. නා. ගිනි කන්දක ගිනි ලෝදිය පිට වන විවරය.
5. (පාරිභා.) නා. පොළවේ සිලින්ඩරාකාර ප්‍රදේශයක් ගිලා බැසීමෙන් ඇතිවන වළ.

කටැටි

[කට + ඇටි]
වි. කිරීමට කැමති; කරනු රිසි; කෘතාර්ථි.

කටි ඇටය

නා. උකුළු ඇටය.

කටි වාමනකයා

නා. දික් පා ඇති උඩුකය අසම්පූර්ණ වූ මිට්ටා.

කටිකාභරණය

නා. කටියෙහි පලඳින ආභරණය; කටි පලඳනාව; මෙවුල.

කටින කූර

නා. නූල් කටින රෝදයට සවි කිරීම සඳහා එක් කෙළවරක සිදුරක් ඇති වන අයුරින් වානෙන් හෝ පිත්තලින් සාදනු ලබන උපකරණය.

කටින ජෙනිය

නා. නූල් කීපයක් එකවර ඇඹරිය හැකි කටින යන්ත්‍ර විශේෂයක්.

කටිනවා

1. ක්‍රි. නූල් සාදනවා; කපු ආදියෙන් නූල් අඹරනවා.
2. ක්‍රි. විපතක් කරනවා.